ජනතාවගේ නීරෝගීභාවය වෙනුවෙන් “පෝෂණය” පිළිබඳ අඛණ්ඩ වැඩපිළිවෙලක්

ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා  අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධානය කරතිබූ පාගමනින් අනතුරුව  පැවති  දැනුවත් කිරීමේ  වැඩසටහනකට  එක්වෙමිණි.

ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සංවිධානය කල මෙම පාගමන අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ කල අතර ලිප්ටන් වට රවුම , නගර සභා පරිශ්‍රය පසු කර නැවතත් විහාර මහා දේවි උද්‍යානයෙන් අවසන් කෙරිණි. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එහි දී පැවැත්විණි.

“ස්ථූලතාවය පිටුදකිමින් බෝවන රෝග වලක්වා ගනිමු “ යන්න මෙවර තේමාව කරගත් ලෝක ස්ථූලතා දිනය සෑම වසරකම මාර්තු 04 වන දිනට යෙදී ඇත.

පෝෂණය හා සම්බන්ධ දැනුවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන් සම්පාදනයේදී ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායම් රාශියක් සිටින බවත්, එහෙත් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සිඳුවන්නේ විවිධ පරාසයන් හා මුල්‍යයන් කේන්ද්‍රගතව බවත්, එබැවින් ප්‍රතිඵළ ලබා ගැනීමට යම් කාලයක් ගතවීම හා සංකීර්ණතා මතුවීම සිඳුවන්නේයැයි අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේය.

එබැවින් එම කටයුතු හරවත්ව හා ඵලදායීව ඉටුකිරීම සදහා සියලුම යාන්ත්‍රණයන් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය .එමෙන්ම රජය මගින් ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට සියලු කණ්ඩායම් ඒකාබද්ධ වන බවත්, එම අඛණ්ඩ වැඩපිළිවෙළ සදහා දේශීය විදේශීය සියලු දෙනාගේ සහයෝගය  අපේක්ෂා කරන බව ද පැවසී ය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ක්ෂේත්‍ර ‍යේ  නිරතවූවන් විසින් පෝෂණය පිළිබද දත්ත නිවැරදිව සැපයීම ද ඉටුකලයුතු බවත්, එම කටයුතු සාර්ථක වුවහොත් මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම, ස්ථූලතාවය තුරන් කර පිරිපුන් නිරෝගී ජනතාවක් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද පැවසී ය.

වත්මන් රජයේ බලාපොරොත්තුව මෙරට ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ලබා දීම බව වැඩිඳුරටත්  ප්‍රකාශ කල අමාත්‍යවරයා එම පොහොසත් රටේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික, පෝෂණමය, ඇතුළු සෑම පැත්තෙන්ම පොහොසත් ජීවිතයක් ගත කිරීමට මෙරට ජනතාවට අවස්ථාව උදාකර දීමටඅවස්ථාව සලසා දීමට කටයුතු කරන බව ද පැවසී ය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන,පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත්, ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය එස්. පී. කුරුකුළආරච්චි, විශේෂඥ වෛද්‍ය තෙන්නකොන් ජයවීර,භාන්ඩාගාරික විශේෂඥ වෛද්‍යඑම්.පී ගමගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපත් සංජීව තෙන්නකෝන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා, ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ සභාපති මහාචාර්ය ආනන්ද චන්ද්‍රෙස්කර යන මහත්ම මහත්මීන් ද, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සිවිල් සංවිධාන ඇතුලු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Leave A Comment