
ජනවාරි මන්ත්‍රී විශ්‍රාම වැටුප කෝටි 3.5යි
- CNL Reporter
- March 30, 2025
- දේශපාලන
- විශ්‍රාම වැටුප
- 0 Comments
ජනපති අනුරට 78,690යි
මහින්දට 90,166.66 ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වශයෙන් ඉකුත් ජනවාරි මාසයේ දී රුපියල් තුන්කෝටි හතළිස් අටලක්ෂ විසිහයදහස් තුන්සිය අටයි ශත දොළහක මුදලක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාවරණය කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 328 දෙනකු සඳහා මෙම මුදලින් රුපියල් දෙකෝටි තිස්තුන්ලක්ෂ අසූපන්දහස් පන්සිය විස්සයි ශත හැත්තෑ හතක් ද වැන්දඹුවන් හෝ වැන්දඹු පුරුෂයන් 182දෙනකු සඳහා රුපියල් එක්කෝටි දස ලක්ෂ විසිදහස් හයසිය හැට හයයි ශත දාහතරක මුදලක් ද විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇත.
එම මන්ත්‍රීවරුන්ගේ ආබාධ සහිත දරුවන් සඳහා ද රුපියල් හාරලක්ෂ විසි දහස් එකසිය විසි එකයි ශත විසි එකක මුදලක් ගෙවා ඇත.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ Factseeker කණ්ඩායම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමු කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ අයැදුම්පතට පිළිතුරු දෙමින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරු ද මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුපට හිමිකම් කියති.
ඒ අනුව රණසිංහ ප්‍රේමදාස මහතාගේ විශ්‍රාම වැටුප වශයෙන් පසුගිය ජනවාරි මාසයේදී ඔහුගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් 75,166.66 ක් ද මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් 90,166.66 ක් ද මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් 85,833.32 ක් ද රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් 85,166.66 ක් ගෙවා ඇත.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මන්ත්‍රී විශ්‍රාම වැටුප වශයෙන් ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් 78,690.00 ක් හිමි විය.
පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඔහු මේ වන විට සිය විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කර ඇති බවයි.
රනිල් ධර්මසේන