
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්
- Sujeewa Senerath
- June 11, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- japan-srilankan, migrant
- 0 Comments
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහි දී තානාපති කාර්යාලය මගින් සිදු කරන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර යාවත්කාලීන කිරීම, දිවුරුම් ප්‍රකාශ නිකුත් කිරීම, ඇටෝනි බලපත්‍ර සහතික කිරීම ඇතුළු අත්‍යාවශ්‍ය කොන්සියුලර් සේවා සහ වෙනත් සහය සේවාවන් රැසක් ජපානය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් සපයන ලද අතර ප්‍රදේශවාසී ශ්‍රී ලාංකිකයෝ විශාල සංඛ්‍යාවක් මෙම සේවාව හා එක් වී සිය අවශ්‍යතා ඉටුකර ගත්හ.
තොචිගි ඔහානා සංවිධානය විසින් සංවිධානය කළ මෙම ජංගම කොන්සියුලර් සේවයට සමගාමීව වෙසක් සහ පොසොන් පොහොය සැමරුම් “වෙසක් කලාපය” පැවැත්විණි. ඊට ප්‍රදේශවාසී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් එක්ව නිර්මාණය කරන ලද අලංකාර වෙසක් පහන් කූඩු 600 කට අධික ප්‍රමාණයක් සැරසිලි සඳහා එක් කර තිබුණි.ඊට අතිරේකව ලාංකික සංස්කෘතිකාංග වලින් සමන්විත වූ ප්‍රාසාංගික ඉසව් රැසකින් ද මෙම වෙසක් කලාපය වර්ණවත් විය. උත්සවයේ වැදගත් අංගයක් ලෙස පැවති ළමා චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා සහභාගීත්වය අගය කරමින් වටිනා පාසල් බෑග් තිළිණ ලෙස ප්‍රදානය කෙරිණ.
මෙම වෙසක් කලාපය හා සංස්කෘතික ප්‍රසංගය තුළින් මෙරට වෙසක් සංස්කෘතිකාංග ජපන් ජාතිකයන්ට හා ජපාන වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ට හඳුනාගැනීමට කදිම අවස්ථාවක් ලද බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පැවසීය.
එම අවස්ථාවේ ආගමික වතාවත් පැවැත්වීමට තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය මාවතරේ චන්දිම හිමියෝ හා සයිතමා කුමගයා අනඳමෙත් විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නාරවිල විජයවංශ හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

| ජංගම සේවයට පැමිණි ශ්‍රී ලාංකිකයින්
| ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ ලාංකිකයකු සමග කතාබහ කරමින්
| ලාංකිකයින් තම ගැටළු විසඳා ගනිමින්