ජාත්‍යන්තර විද්‍යාඥයෙක් හමුවෙන්න වත් අනුරට, හරිනිට වෙලාවක් නැද්ද? – සරෝජ් පතිරණ (වීඩියෝ)

  • ලංකාවට ඩොලර් එපාද?

  • ආණ්ඩුවට පුනර්ජනනීය බලශක්තිය අරහංද?

බ්‍රිතාන්‍යයේ වාසය කරන සම්මානිත මහාචාර්ය අයි. එම්. ධර්මදාස පුනර්ජනනීය බලශක්තිය ගැන ජාත්‍යන්තර අත්දැකීම් සහිත ඉහළම පෙළේ විද්‍යාඥයෙක්.

දැන් දශක කිහිපයක ඉඳලම ලංකාවේ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න වෙහෙසෙන ඔහු, අපේ රටේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව empower කිරීමේ අටියෙන් නිර්මාණය කරන සූර්ය ගම්මාන (solar villages) වලත් නිර්මාතෘවරයා. ඒ වගේම එතුමා ඔක්ස්ෆර්ඩ් නගරය මූලස්ථාන කරගත් Solar Village SDG චැරිටි එකෙත් (Solar Village SDG) සභාපතිවරයා.

එපමණක් නොවෙයි, පොසිල ඉන්ධන වෙනුවෙන් ලංකාව වැය කරන දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණය අඩු කිරීම සඳහා හැකි ඉක්මනින් අපේ රටත් ග්‍රීන් හයිඩ්‍රජන් විප්ලවයට සම්බන්ධ වීමේ අවශ්‍යතාව වෙනුවෙනුත් ඔහු දැඩිව පෙනී ඉන්නවා. Sandeshaya by Saroj යූටියුබ් නාළිකාව එක්ක ඒ ගැන කරපු සංවාදයක් (ලින්කුව පළමු කොමෙන්ටුවේ) පළවුනාට පස්සේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඒ ගැන දැඩි ප්‍රසාදය පළ කරලා තිබුණා. කොහොම හරි මේ පණිවුඩය ජනාධිපති අනුර කුමාරට කියන්න කියල ඒ බොහෝ දෙනා මහාචාර්ය තුමාගෙන් ඉල්ලීම් කරලා තිබුණ.

බ්‍රිතාන්‍යයේදී ඉතාම ඉහළ වැටුපක් අරගෙන බොහොම සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගතකරන්න හැකියාව තිබුණත්, සූර්ය ගම්මානවල අඩුපාඩුත් සොයා බලල, රටින් පිට කරන ඩොලර් ඉතිරි කරගන්න යෝජනාත් අරගෙන මහාචාර්ය ධර්මදාස කොහොමහරි අවුරුද්දකට සැරයක් තමන්ගේ ධනය සහ ශ්‍රමය වැය කරගෙන – සූර්ය ගම්මානවල දරුවන්ට තෑගිත් අරගෙන – ලංකාවට එන්නේ තමන් දැන, උගත් දෙයින් උපන් රටට සේවයක් කරන ඒකායන බලාපොරොත්තුවෙන්.

මේ වතාවේ එතුමා ලංකාවට ඇවිත් දැන් සති දෙකකටත් වැඩියි. තව දවස් හතරකින් මේ විද්‍යාඥයා ආයෙත් බ්‍රිතාන්‍යය බලා යනවා.

| සරෝජ් සමග මහාචාර්ය ධර්මදාස
| සරෝජ් සමග මහාචාර්ය ධර්මදාස

මහාචාර්ය ධර්මදාස ලංකාවට එන්න කලින්ම ජනාධිපති අනුර කුමාර සහ අගමැතිනි හරිණි අමරසූරිය හමුවෙන්න වෙලාවක් දෙන්න කියල ලිඛිතව ඉල්ලීම් කරලා තිබුණ. මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ මහාචාර්ය ධර්මදාස අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රචාරක ව්‍යාපාරයේ පවා යෙදුණ කෙනෙක් බවත්.

කොහොම හරි රටට ඩොලර් ඉතිරි කරන හැටි ගැන කතා කරන්න; දුෂ්කර ගම්මානවල ඉන්න අපේම මිනිස්සු සවි, බල ගන්වන හැටි ගැන කතාකරන්න අද වෙනතුරු එතුමාට අනුර ගෙන් හරි හරිණි ගෙන් හරි කැඳවීමක් ලැබිල නැහැ. කොටින්ම බලශක්තිය ගැන කතාකරන කොට මේ රටේ සමහර නායකයින්ගේ දේශනවලට පවා යොදාගන්නේ එතුමාගේ රචනාවන්. ඒත් ඉල්ලීම් කිහිපයක්ම කරලත් එතුමාට ලැබිල තියෙන්නේ අගමැතිනියගේ ලේකම්වරයා හමුවෙන්න අවස්තාවක් විතරයි. අගමැති ලේකම් එක්ක හමුවීම සිදුවෙන්නෙත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර පුද්ගලිකව මැදිහත්වෙලා කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්.

ඇත්තටම මේ තරම් වැදගත් පුද්ගලයෙක් හමුවෙන්න වෙලාවක් නැති තරමටම අපේ රටේ නායකයෝ ‘බිසි’ ද? නැත්නම් කිසියම් පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ බලපෑමක් නිසා හිතාමතාම ඒ අවස්ථාව මග හරිනවද?

– සරෝජ් පතිරණ

2025 අගෝස්තු 11

Leave A Comment