
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කෙරේ
- Sujeewa Senerath
- August 15, 2025
- අධ්‍යාපන, පුවත්
- 0 Comments
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතියට සමාගාමීව මෙම මාසය ප්‍රකාශයට පත්කරීමට පියවර ගැණුනි.
මව්කිරි දීමේ වැදගත්කම, එම මාසය තුළ සිදුකරන ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කර ගැනීම, පසුගිය වර්ෂයේ සිදුකල කාර්යන් පිළිබඳව කතිකා කිරීම, මව්කිරි දීම පිළිබඳව දස පිළිවෙතට අදාළව තම කාර්ය සාර්ථකව ඉටුකළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම, මෙන් ම තවත් වැඩසටහන් රාශියක් ඇතුළත් ව මෙම ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පැවැත්විණි.
මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මව්කිරි දීම ළදරුවාගේ මෙන් ම මවගේ ද සෞඛ්‍යට ඉතා වැදගත්වන වන බවත්, දරුවා සහ මව අතර ආත්මීය බැදීම තව තවත් ශක්තිමත් කිරීමටත් මව්කිරි දීම බෙහෙවින් ඉවහල්වන බව අවධාරණය කර සිටියේ ය. එමෙන්ම මව්කිරි මගින් ළදරුවන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිදේහ ලැබෙන අතර එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වී කෙටිකාලීන සහ දිගු කාලීන විවිධ රෝග පිළිබද අවධානම අඩුවන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.
ගුණාත්මක, ප්රශස්ත මව්කිරි දීමේ පිළිවත් අනුගමනය කිරීම පිළිබදව ජාත්‍යන්තර වශයෙන් ඉහළම කාර්ය සාධනයක් ඇති රටක් ලෙස අපරට ජාත්‍යන්තරව පිළිගෙන ඇති බවත්, එම පිළිගැනීමට හිමි ගෞරවය මෙරට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හිමිවිය යුතු බව ද පැවසූ අමාත්‍යවරයා එය දශක ගනනාවක ප්‍රතිපලයක් බව ද සිහිපත් කර සිටියේය.
මව්කිරි දීම සෞඛ්‍ය පණිවිඩයක් පමණක් නොව ප්‍රජාව තුළ සමාජ වටිනාකමක් ලබාදෙන පණිවිඩයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබදව මෙරට සියලු ප්‍රජාව, මාධ්‍ය ඇතුළු වගකීම් දරණ සියලු දෙනා එක්ව කැපවීමක් සහිත වූ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන කාර්යයක් බව පැවසී ය. මේ සඳහා අවශ්‍ය වන සියලු සහාය සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මාතෘ නිවාඩු හිමිකම් සහ මව්කිරි දීමේ නිර්දේශ අතර යම් පරතරයක් පවතින බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට තුළ මව් කිරි දීම ප්‍රවර්ධනය කිරීම සදහා අවශ්‍ය වන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්රමුඛත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ලෝක මව්කිරි දීමේ සතිය සෑම වර්ෂයකම අගෝස්තු මස 1-7 දක්වා ලොව පුරා රටවල් 170 ක සමරනු ලබයි. මව්කිරි දීමේ ප්රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ සදහා දායක වන සියලු අංශ සමග සහයෝගීව මව්කිරි දීම බලගැන්වීම මෙහි ප්රමුඛ අරමුණයි. මව්කිරි යනු අලුත උපන් බිළිදුන් සඳහා ස්වාභාවිකවම නිම වූ අසම සම පෝෂණීය ආහාරයකි.
උපතින් පසු පළමු පැය තුළ මව්කිරි දීම කඩිනමින් ආරම්භ කිරීම, පළමු මාස හය තුළ දී මව්කිරි පමණක්ම ලබා දීම, වයසට නිසි අමතර ආහාර සමග ළදරුවාට අවුරුදු 2 ක් හෝ වැඩි කාලයක් මව්කිරි දීම, මව්කිරි දීමේ ජාතික නිර්දේශ වේ.
මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රුයි පාවුලෝ ද ජේසු (Dr Rui Paulo de Jesu), පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ ද්‍යෛ චන්දිම සිරිතුංග, මව්කිරි දීම පිළිබද ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රජා විශේෂඥ වෛද්‍ය නෙත්මිනි තේනුවර, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්,ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්, නව ජන්ම විශේෂඥවරුන්, මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්, හෙද සොයුරියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, සෞඛ්‍ය ක්ෂේත්රයේ විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.