ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ

-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු

විනිමය අනුපාතය ළඟ ළඟ ඉහළ පහළ යද්දී ව්‍යාපාරිකයින්ට වැඩ කිරීමට අපහසුයි

වාහන ආනයනය කළොත් ඩොලරයට තිබෙන ඉල්ලු‍ම වැඩි වෙන්න පුළුවන් සංචාරක කර්මාන්තයේ සියලුම ආදායම අපේ රටට එන්නේ නෑ

වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඩොලරය තිබුණේ ඉහළ අගයකයි. නමුත් නව රජය බලයට පත්වීමත් සමඟ ඩොලරයේ අගය අඩුවෙලා තිබෙනවා. මෙයට බලපා තිබෙන මූලික හේතු මොනවාද?

මැතිවරණයකට කලින් ඕනෑම රටක තරමක් අස්ථාවර ගතියක් පැමිණෙනවා. ව්‍යාපාරිකයින්ට, ජනතාවට, ආයෝජකයින්ට, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට ඉදිරියේදී මොකද වෙන්නෙ කියල විශ්වාසයක් නෑ. ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමඟ තිබෙන එකඟතාවෙන් අපි ඉවත් වෙයිද? මෙවැනි අවිනිශ්චිතතා පැවතුණා. එතකොට සමහර අවස්ථාවලදී අපනයනය කරන පිරිස නිෂ්පාදන අපනයනය ටිකක් පරක්කු කරනවා. ඒ වගේම ආනයනය කරන පිරිස පුළුවන් තරම් ඉක්මනට ඩොලර්වලින් ගෙවන්න තියෙන ඒවා ගෙවලා ඉවර කරනවා. ඒ නිසා වෙළෙඳපොළේ ඩොලර්වලට තිබුණු ඉල්ලු‍ම සාපේක්ෂව ඉතාමත් වැඩි තත්ත්වයට පත් වුණා. එහිදී නව රජයක් බලයට පත්වීමත් සමඟ නව ජනාධිපතිතුමා සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කළා.

එහි දී ජනතාව තුළ මුලින් තිබූ අවිශ්වාසය තරමක් දුරට බැහැර වුණා. එම නිසා සංචාරක කර්මාන්තය ඉදිරියට ගොස් යම්කිසි ඩොලර් ප්‍රමාණයක් වෙළෙඳපොළ තුළ ස්ථාවර වුණා. වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු‍වත් අවසන් වුණා. ඉන්පසු සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් ද සිදු වුණා. ඒ සමඟම පද්ධතියට ඩොලර් ආවා. මහ බැංකුවත් වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන සංචිත යම්කිසි ප්‍රමාණයක් ස්ථාවර කර ගත්තා. ඇත්තටම මහ බැංකුව ඩොලර් මිලදී ගත්තේ නැත්නම් වෙ‌ළෙඳපොළේ රුපියල තවත් අධිප්‍රමාණය වෙන්න හැකියාවක් තිබුණා. මොකද ශ්‍රී ලංකාව ටිකක් කුඩා විනිමය වෙළෙඳපොළක්. ඒ නිසා මහ බැංකුව ඩොලර් මිලදී ගෙන මූලික වශයෙන් සංචිත ගොඩනඟා ගත්තා. ඒ වගේම අපිට හොඳ වර්ෂාපතනයක් ලැබෙන නිසා ඛනිජ තෙල්, ඩීසල් හෝ දැවි තෙල් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍යතාවක් නැහැ. ජලයෙන් තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නෙ. ඒ හේතුවෙන් ඛනිජ තෙල් පරිභෝජනය ද යම්තාක් දුරට අඩුවෙලා තියෙනවා. මේ කරුණු හේතුවෙන් තමයි මේ දිනවල ලංකාව තුළ ඩොලර් පවතින්නේ මෙන්ම ඩොලරයේ අගය අඩු වී තිබෙන්නේ.

ඩොලරයේ අඩුවීම රටක් ලෙස නැඟී සිටින්න වැදගත් වුණත් පෞද්ගලික ව්‍යාපාරිකයින්ට ඩොලරයේ අඩුවීම යම් ආකාරයක හානියක් වෙලා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කෙසේද?

රුපියල අවප්‍රමාණය වීම හෝ අධිප්‍රමාණය වීම නිතරම එක කොට්ඨාසයකට වාසිත් තවත් කොට්ඨාසයකට අවාසිත් ගෙන දෙනවා. සාමාන්‍යයෙන් රුපියල අවප්‍රමාණය වනවා නම් ඒක අපනයනකරුවන්ට වාසියි කියලා සැලකෙනවා. ඔවුන්ට ඩොලර්වලින් වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. එවිට රුපියල අවප්‍රමාණය වනවා නම් එය ආනයනකරුවන්ට අවාසියක් ලෙස සැලකෙනවා. ඔවුන් සමහර වෙලාවට වැඩිපුර භාණ්ඩ ගෙනාවට පස්සේ භාණ්ඩ ගෙනඒම සඳහා වැඩිපුර රුපියල් ප්‍රමාණයක් වියදම් කරන්න සිදුවෙනවා. ඕකෙම අනිත් පැත්තත් සිදු වෙනවා රුපියල අධිප්‍රමාණය වීමේදී අපනයනකරුවන්ට පාඩුවක්. උදාහරණයක් ගත්තොත් තේ අපනයනය කරනවා නම් ඔවුන් කිසියම් ඩොලර් ප්‍රමාණයකට තේ අපනයනය කරනවා. ඔවුන්ට ශ්‍රී ලංකාවේ ගෙවන්න තියෙන වැටුප් ආදියට අනුකූල වන රුපියල් අගයකට තමයි අපනයනය කරන්නේ. නමුත් එය අපනයනය කරලා ඩොලර් කවුන්ටර් එකට ඇවිත් ඒක බැංකුවට ගිහින් දුන්නට පස්සේ ලැබෙන්නේ අඩු මුදලක් නම්, එම අඩු මුදලින් පඩි ගෙවා ගන්න බැරි වීම නිසා ඔවුන් අපහසුතාවට පත් වෙනවා. ඒ වගේම රුපියල අවප්‍රමාණය වෙද්දී ඔවුන්ට විශේෂ වාසි ලැබෙනවා. ඔවුන් රුපියල්වලින් ගණනය කරලා ඩොලර් ටික ආවට පස්සෙ වෙනදාට වඩා වැඩි මුදලක් රුපියල් ලෙස ඔවුන්ගේ අතට ලැබෙනවා. එහිදී පඩිනඩි ගෙවීම්වලින් පසු වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඔය හේතු දෙක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතුළ තමයි ඩොලරයේ අගය අඩුවීම බොහෝ දුරට පෞද්ගලික අංශයට අවාසි ගෙන දෙනවා කියන තත්ත්වය ගොඩනැඟෙන්නේ.

ඒ වගේම විනිමය අනුපාතය නිතරම යම්කිසි ස්ථාවර මට්ටමකට හැකිතාක් තබා ගැනීම වැදගත්. නිතරම විනිමය අනුපාතය ළඟ ළඟ ඉහළ පහළ යද්දී ව්‍යාපාරිකයින්ට ඉදිරියේදී වැඩ කිරීමට අපහසු වෙනවා. ඒ වගේම වෙළෙඳපොළ තිබෙන අනුකූලතාවයත් එක්ක ගැළපීමද අවශ්‍යයයි. එහෙම නැතිව රුපියල කෘත්‍රීම ලෙස ඉහළ හෝ පහළ තබාගන්න උත්සාහ කළොත් ව්‍යාපාරයන්හිදී ගැටලු‍ මතු වීමට ඇති ඉඩකඩ බොහෝයි.

ඩොලරය අඩු වෙලා තිබුණත් ශ්‍රී ලංකාවේ තවමත් අත්‍යවශ්‍ය සේවාවන්වල මිල ගණන් අඩු වීමක් වෙලා නෑ. ඩොලර් එකේ බලපෑම ඒ දේවල්වලට බලපාන්නේ නැද්ද ?

ඔව්. රුපියල අධිප්‍රමාණය වුණාට සමහර භාණ්ඩ හා සේවාවල මිල එකපාරටම අඩුවීමක් වෙන්නේ නෑ. රුපියල හා ඩොලර් එකත් සමඟ එක ළඟ යන ඒවා, ඒ කියන්නේ ඛනිජ තෙල් අනිත් පැත්තෙන් ගත්තොත් ගෑස්, සෝලා පැනල්, සිමෙන්ති වගේ ඩොලර් එක හා රුපියල් සමඟ සෘජුව බැඳිලා තියෙන ඒවායේ මිල අඩුවෙන්න පුළුවන්. නැත්නම් මිල අඩු වෙන්නෙ නැති වෙන්න හේතුව තමයි උද්ධමනය කියලා කියන්නෙ. භාණ්ඩවල මිල වැඩිවීමේ වේගය. එක් වරක් 70% උද්ධමනයට පසු සමස්තයක් ලෙස මුළු පද්ධතියේම මිල මට්ටම් වැඩි වුණා. ඒක හරියට අපි ලිෆ්ට් එකක යද්දි ලිෆ්ට් එක පහළ level එකේ තමයි තිබ්බේ. උද්ධමනය 70% ආවට පස්සේ අපි ලිෆ්ට් එකේ උඩට ගියා. දැන් ලිෆ්ට් එක හෙල්ලෙන්නෙ නෑ. හැබැයි අපි ඉන්නේ පොළොවට වඩා උඩින්. ඒ කියන්නේ මිල මට්ටම් උඩට ගිහින් ඒ උඩ level එකේ මිල මට්ටම ස්ථාවර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සමහර භාණ්ඩවල මිල අඩු වුණාට හැම එකේම මිල අඩු වෙලා නෑ. ඒ වගේම මිල වැඩිවුණු කාලෙදි ජනතාවගේ වැටුප් වැඩි කරන්න වුණා. ඒ දේවල් කරාට පස්සේ වියදමේ කොටසක් තාමත් පඩිත් එක්ක ඉතිරිවෙලා තියෙනවා. ඒක තමයි භාණ්ඩ හා සේවාවල මිල එකපාරම පහළ නොයන්න ප්‍රධාන හේතුව ඒ නිසා සමහර දේවල් ඍජුව අඩු වුණාට සමහර ඒවායේ මිල එකවරම අඩුවෙන්නේ නෑ.

අපේ සංචාරක ක්ෂේත්‍රයට ඩොලරයේ පහත බැසීම බලපාලා තියෙන්නේ කොහොමද?

සංචාරක කර්මාන්තය ඩොලර්වලින් ආදායම උපයන නිසා ඔවුන්ගේ ගෙවීම් ගොඩක් වෙලාවට තියෙන්නේ රුපියල්වලින්. එම නිසා සමහර වෙලාවට ඔවුන්ට මේ රුපියල අවමාණය වීම හෝ අධිප්‍රමාණය වීම බලපානු ලබනවා. නමුත් එක්තරා ආකාරයකට රුපියල අවප්‍රමාණය වීම හෝ අධිප්‍රමාණය වීම සංචාරක කර්මාන්තයට සාමාන්‍ය තත්ත්වයක්. පද්ධතියට ඩොලර් වැඩිපුර එනවා කියන්නෙ රුපියල යම්කිසි අධිප්‍රමාණය වීමක් තියෙනවා, ඒක හොඳ දෙයක්. මොකද වැඩිපුර රුපියල් පද්ධතියට එන එක හොඳයි. එතකොට තමයි මහ බැංකුව ඩොලර් ටිකක් මිලදී අරන් සංචිත ගොඩනඟන්නේ. ඒකෙන් අපේ රටේ මේ ණය කන්දරාවෙන් යම්කිසි ප්‍රමාණයක් ගෙවා ගැනීමේ හැකියාව තියෙනවා. සංචාරක කර්මාන්තයේ වියදම් ගොඩක් වෙලාවට තියෙන්නෙ ඩොලර්වලින්. සංචාරක කර්මාන්තයේ සියලු‍ම ආදායම අපේ රටටම එන්නේ නෑ. ගුවන් ටිකට් පත්වලට යන්නේ ඩොලර්වලින්, හොටෙල්වල විදුලි බිල් ආදිය හෝටල්වලින් ගෙවන්නේ රුපියල්වලින් වුණත් ඒ සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආදියට ගෙවන්නේ ඩොලර්වලින්. ඒ වගේම හෝටල් අවුරුදු පහකට වරක් නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒකට අවශ්‍ය සිමෙන්ති, යකඩ වගේ දේවල් ආනයනය කරන්න ඕනේ. ඒ හේතුව නිසා ඩොලර් පද්ධතියට ලැබෙනවා වගේම වියදමත් තියෙනවා.

ඉදිරියේදී ඩොලරය තවත් අඩු අගයක් ගතහොත් එම තත්ත්වය ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද?

මම හිතන්නෙ නෑ ඩොලරය විශාල ලෙස අඩු වෙයි කියලා. එය තීරණය වෙන්නේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී එන ඩොලර් ප්‍රමාණය අනුවයි. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තයේ සහ අපනයන නිෂ්පාදනවල විශාල වර්ධනයක් සිදු වෙලා නැති නිසා ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු වුණාට පස්සෙ තමයි ඩොලරය අඩු අගයක් ගැනීම ශ්‍රී ලංකාවට බලපාන ආකාරය විග්‍රහ කර ගන්න වෙන්නෙ. ඒ අනුව ඉදිරියේදී ඩොලරය අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය වීමේ විශාල විචලනයක් දැක ගැනීමට නොහැකියි. දැනටමත් වාහන ශ්‍රී ලංකාවට ගෙන්වන එක සීමා කරලා තියෙන්නෙ. නැවත පෙර පරිදි වාහන ආනයනය සිදු කළහොත් ඩොලරයට තිබෙන ඉල්ලු‍ම වැඩි වෙන්න පුළුවන්. ඒත්, සමඟම ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා.

නිසංසලා සඳමාලි

ජන සන්නිවේදන අධ්‍යයන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය

Leave A Comment