ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්
අධිකරණ අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව විසින් ලබා දෙන නිර්දේශ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද පැනයකට පිලිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.එම කමිටුව පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එකී කමිටු නිර්දේශ ලද පසු මෙම පනත අහෝසිකර නව පනතක් ගෙන ඒම හෝ වෙනත් කවරාකාර සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බව ද පැවසීය. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත එවකට ශ්‍රී ලංකාව තුළ පැවති තත්වයට මුහුණ දීම සඳහා එනම් ත්‍රස්තවාදී ක්‍රියා වැලැක්වීම, යම් පුද්ගලයකු, සංගමයක් හෝ සංවිධානයක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ලංකාව තුළ හෝ ඉන් පිටත කරනු ලබන නීති විරෝධී ක්‍රියා වැළැක්විමේ අරමුණින් යුක්තව සම්මත කර ගන්නා ලද පනතක් බවත් මෙකී පනත විවිධ සංශෝධනයන්ට භාජනය වෙමින් වසර 46කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
විවිධ රජයන් මෙම පනත පරිච්චින්න කොට නව පනතක් ඉදිරිපත් කිරීම සඳහා පියවර ගෙන තිබූ බව ද එවැනිම උත්සාහයක් පසුගිය රජය විසින් ද ගෙන ඇති අතර එලෙස සකස් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයෙහි 2023.09.15 දින පළ කරන ලද අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව නඩු පවරා ඇති බවද සඳහන් කළේය. එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සිදුකළ යුතු සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය එකී තීන්දුවේදී පැහැලිව දක්වා තිබේ. තවද, මෙම පනත් කෙටුම්පත එවකට පැවති ආංශික අධීක්ෂණ කමිටුවේ දින දෙකක් සාකච්ඡාවට භාජනය වී ඇත.
මෙකී පනත් කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කර ඒ සඳහා නිරීක්ෂණ/නිර්දේශ ලබා දෙනු පිණිස අධිකරණ අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුවක් පත් කිරීම සඳහා මා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එකී කමිටු නිර්දේශ ලද පසු ඉහත පනත සම්බන්ධයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.