තාක්ෂණික අනතුරුවලින් ළමා හා වැඩිහිටි පරපුර බේරාගනිමු
- 5opn1
- December 28, 2024
- තොරතුරු තාක්ෂණය
- තාක්ෂණික අනතුරුවලින් ළමා හා වැඩිහිටි පරපුර බේරාගනිමු
- 0 Comments
තාක්‍ෂණික අනතුරු
(Techno Trauma)
තාක්ෂණික අනතුරු (Techno Trauma) යනු තාක්ෂණික දියුණුව සමග ජනතාවට වැළඳෙන නවීන රෝග තත්ත්වයකි. මෙය ළමා පරපුරට හා ගර්භණී සමයේ සිට ගර්භයට හානි සිදුවන රෝග තත්ත්වයකි. වර්තමාන දරු පරපුර X- කිරණ පරම්පරාව (x-ray generation) ලෙස හඳුන්වනු ලබයි. තාක්ෂණික අනතුරු ඇතිවීමට රැහැන් රහිත තාක්ෂණික විද්‍යුත් උපකරණ භාවිත කිරීම ප්‍රධාන හේතුවකි. දරුවන්ට ආහාර ලබාදීමට, නිදිකර වීමට තරුණ දෙමාපියන් දුරකථන ලබාදීමට යොමුවීම මෙම රෝග තත්ත්වය ඉහළ යෑමට හේතුවකි.
තාක්ෂණික අනතුරු ඇතිවීමට හේතුවන උපකරණ ලෙස ප්‍රධාන වශයෙන් රූපවාහිනිය, පරිගණක, ජංගම දුරකථන, දුරස්ථ, පාලන යන්ත්‍ර, Wi fi උපකරණ, මයික්රොවේව් (සූක්ෂම තරංග) උපකරණ, CFL බල්බ, Teplon උපකරණ හැඳින්විය හැකිය.
ඉහත සඳහන් උපකරණවලින් දරුවන්ගේ මොළයට, ශරීරයට විශාල ලෙස අනතුරු ඇති කරයි. එයට හේතුව දරුවන්ගේ මොළයේ පටක සියුම් වීමයි. වැඩිහිටියන්ට වඩා 60%ක් පමණ කිරණ දරුවන්ගේ මොළයට උරා ගැනේ.
දරුවන් ජංගම දුරකථනය විනාඩි දෙකක් භාවිත කිරීමට යොමුවන්නේ නම් මොළයට එය පැයකට වඩා වැඩි කාලයක් අහිතකර ලෙස බලපානු ඇත. නිතර නිතර එම උපකරණවලට දරුවන් යොමුවීමෙන් මෙම ප්‍රතිඵලය තවත් වැඩි වනු ඇත.
Lap top, Tab, Smart phone, TV භාවිත කරන දරුවන් අතර නොසන්සුන් බව, හැසිරීමේ විකෘතිය, තරහ යෑම, කේන්තිය, මතකය අඩු බව, අලස බව, මන්දෝත්සාහී බව, අධික්‍රියාකාරීත්වය, අවධානය අඩු බව, ආහාර අරුචිය, ඝෝෂා කිරීම යන ලක්ෂණ දැකගත හැකිය.
මෙම තත්ත්වය අවධාන ඌණතා අධි ක්‍රියාකාරී සංකූලතාව ලෙස හඳුනාගෙන ඇත. (Attention deficit/hyperactivity) වර්තමාන දරු පරපුර තුළ මෙම රෝග තත්ත්වය බහුලව ඇත.
මෙමගින් සිදු විය හැකි හානි ලෙස මොළය හා කන ආශ්‍රිතව ඇති වන පිළිකා, මොළය ආශ්‍රිත හිංසන පිළිකා, ලේ පිළිකා (Leukaemia), අනාගතයේදී මද සරු බව (ශුක්‍රාණු නිපදවීම අඩුවීම හා ශුක්‍රාණුවල ගුණාත්මක බව අඩුවීම), අවධානය මතකය හා අධ්‍යාපන ජයග්‍රහණ අඩු වීම, කුසලතා වර්ධනය නොවීම, නින්ද අඩු බව, හෘද ආබාධ, හැසිරීම් ස්වභාවයේ විකෘතිය, නිරන්තර හිසරදය, මානසික ආතතිය යන රෝගී තත්ත්ව හඳුනාගෙන ඇත. මීට අමතරව මෙම උපකරණ අවභාවිතය නිසා අපචාරවලට ලක්වීම, තාක්ෂණික සොරකම්වලට ලක්වීම, රිය අනතුරු බහුල වීම, සිය දිවි හානිකර ගැනීම්වලට පෙළඹීම වැනි සිදු වීම් ද බහුලව සිදු වේ.
ගැබිනි මවුවරුන් ද රැහැන් රහිත තාක්ෂණික මෙවලම් නිතර භාවිත කරයි. දිගු ඇමතුම් ලබා ගනී. අත්බෑගය තුළ හෝ ගර්භණි සමයේ අඳිනු ලබන ඇඳුම තුළ ඇතැම් තාක්ෂණික උපකරණ තබා ගැනීම නිසා කලලයට අහිතකර විකිරණ ඇතුළු වේ. මේ හේතුවෙන් දරුවා ජානමය විකෘතිවලට ලක් වේ. වර්ධනය වන මොළයට හානි සිදු වේ. ජංගම දුරකථන භාවිත නොකරන අම්මලාගේ දරුවන්ට වඩා භාවිත කරන අම්මලාගේ දරුවන්ගේ මොළයට සිදුවන හානිය වැඩි බව තහවුරු වී ඇත.
ඉහත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ලෙස රැහැන් සහිත දුරකථන භාවිතය, දරුවන්ට දුරකථන ආදී තාක්ෂණික මෙවලම් භාවිතයට නොදීම, දුරකථන ඇමතුම් කාලය අඩු කිරීම, කෙටි පණිවුඩ භාවිතය, ඇමතුම් ලබා ගැනීමට ස්පීකර් භාවිත කිරීම, දකුණු කන මොළයට වඩා සංවේදී නිසා ඇමතුම් ගැනීමට වම් කන භාවිත කිරීම, කුඩා දරුවන් හා ස්නායු ආබාධ සහිත දරුවන්, ගර්භණී කාන්තාවන් සිටින තැන ජංගම දුරකථන භාවිතය අවම කිරීම, නිදන කාමරය තුළ ජංගම දුරකථන wi fi උපකරණ භාවිත නොකිරීම, දුරස්ථ පාලන යන්ත්‍ර මගින් භාවිත වන විදුලි උපකරණ භාවිතයට නොගැනීම, පාසල් ළමුන් සඳහා ජංගම දුරකථන භාවිතයට නොදීම, ජංගම දුරකථනවල බැටරිවල ආරෝපිතය අඩුවී තිබෙන විට භාවිත නොකිරීම, දුරකථන සංඥා අඩු විට භාවිත නොකිරීම, අනවශ්‍ය වේලාවට දුරකථන අක්‍රිය කිරීම, අන්තර්ජාල පහසුකම් අත්‍යාවශ්‍ය විට පමණක් භාවිත කිරීම,
ගමනා ගමනයේදී දුරකථන භාවිතය නොගැනීම, ලෝහ මිශ්‍ර දුරකථන ආවරණ භාවිත නොකිරීම, ගර්භණී කාලයේ ජංගම දුරකථන භාවිතය අවම කිරීම.
● රූපවාහිනිය භාවිත කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස්
රූපවාහිනිය නරඹන විට අඩුම තරමින් මීටර් තුනක් වත් දුරින් සිට නැරඹිය යුතුය. (කුඩා දරුවන් සහ ගැබිනි මව්වරුන් විශේෂයි) කුඩා දරුවන්ට පාලනයක් සහිතව රූපවාහිනිය නැරඹීමට අවස්ථාව දිය යුතුය. තෝරාගත් ප්‍රයෝජනවත් වැඩසටහන් එක දිගට විනාඩි 30ක උපරිමයකට යටත්ව පමණක් නැරඹීමට අවස්ථාව දීම, රූපවාහිනිය නැරඹීම ළමයින්ට වක්‍රව බෝ නොවන රෝගවලට අත වැනීමක් සිදු කරයි. රූපවාහිනිය තුළ සෞඛ්‍ය සම්පන්න නොවන ප්‍රචාරක දැන්වීම් සියල්ල දරුවන්ට පාලනයකින් තොරව නිරාවරණය වන බැවින් ළමයින්ට වක්‍රව බෝ නොවන රෝග වැළඳීමට එය හේතු වෙයි. විකාශය වන සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සියල්ලම නිරාවරණය වීම සිදු වේ. එය රූපවාහිනි ආයතනවලට ලාභදායී වන නමුත් රටේ සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් සිදු කරනු ලබයි. ඕනෑම උපකරණයක් හානි අවම වන ආකාරයට භාවිත කිරීමට ආචාර රීති පවතී. ඒවා පිළිගත යුතුය. ළමා, තරුණ, ගැබිනි මවුවරුන්, වැඩිහිටි අය මෙම ආචාර රීති අනුගමනය කිරීමෙන් තාක්ෂණික අනතුරු අවම කර ගත හැකිය.
● CFL බල්බ් භාවිත කිරීමේ දී දැන ගත යුතු කරුණු
විදුලිය අරපිරිමැස්ම සඳහා වැඩි දෙනකු භාවිත කරන විදුලි පහන් වර්ගයකි. CFL බල්බ. (Compact Florescent Light) මෙම බල්බවල ප්‍රධාන වශයෙන් රසදිය (Mercury) අන්තර්ගත වේ. එක් බල්බයක් තුළ රසදිය මිලිග්‍රෑම් 3-10 දක්වා අඩංගු විය හැකිය. භාවිතයෙන් පසු මෙම බල්බ අනාරක්ෂිත ලෙස පරිසරයට මුදාහැරියහොත් විෂ සහිත රසදිය පරිසරයට එකතු වේ. එක් බල්බයක් තුළ ඇති රසදිය ප්‍රමාණය මගින් ජලය ගැලුම් 6,000ක් පමණ දූෂණය කළ හැකි බව සොයා ගෙන ඇත.
පරිසරයට එකතු වන රසදිය මෙතිල් මර්කරි (Methyl Mercury) බවට පත්වන අතර එය විශේෂයෙන් කුඩා දරුවන්ට, ගැබිනි මව්වරුන්ට හා වියපත් අයට හානිදායක වේ. බල්බයක් ගෙතුළ තුළදී බිඳුනහොත් එයින් නිකුත් වන රසදිය වාෂ්පයට නිරාවරණය වීම ඉතාම හානිකරය. මෙම රසදිය වාෂ්ප හා කුඩු කාමරය ඇඳ ඇතිරිලිවල අවුරුදු ගණනාවක් රැඳී තිබිය හැකිය. මෙමගින් පිළිකා අවධානමක් ඇතැයි පළ වේ. බල්බ් වීදුරු කටුවලින් තුවාලයක් සෑදුනහොත් සුව කිරීමට ඉතා අපහසු විය හැකිය. දීර්ඝ කාලයක් මෙම බල්බවලට නිරාවරණය නොවන්න. හිස අසලින් මෙම බල්බ නොදල්වන්න. Table Lamp එකට සාමාන්‍ය බල්බ් භාවිත කිරීම. LED බල්බ භාවිත කිරීම CFL බල්බ් භාවිතයේදී රත් වූ බල්බ් ස්පර්ශ නොකළ යුතුය. බල්බ් මාරු කිරීමට අවශ්‍ය වූ විට සිසිල් වූ පසු සිදු කළ යුතුය.
නිවස තුළ CFL බල්බයක් බිඳුනහොත් කළ යුතු දේ වන්නේ එම ස්ථානයෙන් කුඩා දරුවන්, ගැබිනි මවුවරුන් හා වියපත් අය සිටී නම් වහාම ඉවත් කිරීම කළ යුතුය. දොර ජනෙල් විනාඩි 30ක් පමණ විවෘතව තැබීම, විදුලි පංකා විසන්ධි කිරීම, අත්වැස්මක් භාවිත කරමින් කටු කැබලි ප්‍රවේශමෙන් එකතු කිරීම, එහි තිබූ සියලුම ඇඳ ඇතිරිලි දොර රෙදි විවෘතව තිබූ රෙදි පිළි භාවිත නොකර ඉවත් කිරීම, කාමරයේ බිත්ති, ගෙබිම තෙත රෙදි කඩකින් පිරිසිදු කිරීම කළ යුතුය. සියලුම ඉවත් කළ ද්‍රව්‍ය ආවරණයක බහා අන්තරාදායක කසළ යනුවෙන් ලේබල් කර පරිසරයට හානි නොවන ලෙස බැහැර කළ යුතුය.
● Teflon උපකරණ හා ඒවා භාවිතයෙන් සිදුවන හානි
කෑම පිසීම සඳහා භාවිත කරන නන්ස්ටික් ෆෑන්වල කෑම ඇලීමකින් තොරව පිළියෙල කර ගැනීම සඳහා මතු පිට ප්ලාස්ටික් ආලේපනයක් (Polytetrafluoroethylene – PTFE) කර ඇති නන්ස්ටික් ෆෑන් Teflon උපකරණ ලෙස හැඳින්වේ. මෙම නන්ස්ටික් ෆෑන් ෆැරන්හයිට් අංශක 572ට වඩා උණුසුම් වනවිට විෂ සහිත ද්‍රව්‍ය නිකුත්වීමට පටන් ගනී. මෙම විෂ සහිත දුම් උණ වැනි රෝග ලක්ෂණවලට හේතු වේ. මෙමගින් පෙනහලුවලට හානි සිදුකරන අතර හිසරදය, පපුවේ තද ගතිය, කැස්ස වැනි රෝග ඇති වේ. මෙම උපකරණවල ප්ලාස්ටික් ආලේපනය සිදුකර ඇත්තේ PFOA යන අම්ලයක් භාවිත කරමිනි. මෙම අම්ලය ශරීරයට අහිතකර වේ. මෙමගින් පිළිකා වර්ග කිහිපයක් හැදෙන බවට සොයා ගෙන ඇත. මෙම නන්ස්ටික් ෆෑන් සීරීම් සිදු නොවන ලෙස භාවිත කළ යුතුය. ඒ සඳහා ප්ලාස්ටික් හැඳි, සිලිකන් හැඳි භාවිත කළ යුතුය. මෙම භාජන අවපැහැගැන්වී ඇත්නම්, සීරීම්වලට ලක් වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කළ යුතුය. පිරිසිදු කිරීමේදී ප්‍රවේශමෙන් සිදු කළ යුතුය. සීරීම් සහිත භාජනවල කෑම පිසීම මගින් එහි ඇති අහිතකර කුඩා අංශු කෑමවලට එකතු වීම සිදු වේ. මෙය ශරීරයට ඉතා අහිතකර වේ.
● තාක්ෂණික අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි උපාය මාර්ග
ස්මාර්ට් තාක්ෂණයෙන් හැකි තරම් දරුවන් ඈත් කර තැබීම, කුඩා දරුවන් අතර පැරණී ජන ක්‍රීඩා නැවත ප්‍රචලිත කිරීම, කියැවීම් ශාලා, පුස්තකාල පරිහරණය සඳහා දරුවන් උනන්දු කරවීම සහ මග පෙන්වීම, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පාසල් අධ්‍යාපනයක් ගොඩනැගීම.
වෛද්‍ය විදුර රත්නාකර,
කාර්යභාර වෛද්‍ය නිලධාරී,
පියසේන ආයුර්වේද රෝහල – මැදබැද්ද