
දිනකට ගැහැනු 140ක් මාරයාට
- CNL Reporter
- February 9, 2025
- පුවත්
- දිනකට ගැහැනු 140ක් මාරයාට
- 0 Comments
ලොව පුරා කාන්තාවන් සහ ගැහැනු ළමුන් දිනකට 140 දෙනකු පමණ සිය සමීපතම ඥාතියකු අතින් ඝාතනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ කාන්තාවන් පිළිබඳ සංවිධානය (UN Women) නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි.
එම වාර්තාවේ දැක්වෙන පරිදි 2023 වසරේදී කාන්තාවන් සහ ගැහැනු ළමුන් 136100 ක් පමණ ඝාතනයට ලක් වී ඇත. ඉන් සිය සහකරුගේ හෝ පවුලේ වෙනත් සාමාජිකයකු අතින් 51100 ක් පමණ ඝාතනය වී ඇති අතර 85000 කට ආසන්න සංඛ්‍යාවක් චේතනාන්විතව කළ ඝාතනයන් ය. මෙයින් සියයට 60 ක් ම ඝාතනය වී ඇත්තේ සිය සහකරුවන් අතින් සහ සමීපතම ඥාතීන් අතිනි.
මෙම තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ Factseeker කණ්ඩායම කළ අධ්‍යයනයකින් සකස් කළ වාර්තාවකිනි.
මෙම වාර්තාවට අනුව වැඩිම වින්දිතයින් සංඛ්‍යාවක් ඇත්තේ, අප්‍රිකානු කලාපවල ය. එය 2023 වසරේ දී 100,000 ට වින්දිතයින් 2.9 ක අනුපාතයකි. ඇමරිකාව සහ ඕෂනියා ද එවැනි ඝාතන සඳහා ඉහළ අනුපාත වාර්තා කර ඇත. 2023 දී තම සහකරු හෝ පවුලේ සාමාජිකයින් විසින් සිදු කරන ලද ස්ත්‍රී ඝාතන, 100,000කට පිළිවෙලින් 1.6 සහ 1.5 බැගින් වූ අතර, එම අනුපාත ආසියාවේ සහ යුරෝපයේ සැලකිය යුතු ලෙස පිළිවෙළින් 100,000 ට 0.8 සහ 0.6කි.
සහකරුවන් හෝ වෙනත් පවුලේ සාමාජිකයන් විසින් කාන්තාවන් සහ ගැහැනු ළමයින් ඝාතනය කිරීම්වලට අමතරව වෙනත් ආකාරයේ ස්ත්‍රී ඝාතන ද පවතින බව එම වාර්තාවේ සඳහන් වේ. මෑත වසරවල දී ඇතැම් රටවල් ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ ඝාතන මැනීම සඳහා UNODC-UN කාන්තා සංඛ්‍යාන රාමුව ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් වෙනත් ආකාරයේ ස්ත්‍රී ඝාතනයන් ද ගණනය කිරීම ආරම්භ කර ඇත. නිදසුනක් වශයෙන්, ප්‍රංශයේ, 2019-2022 කාලසීමාව තුළ, සියලුම කාන්තා ඝාතනවලින් 79% ක් සමීප සහකරුවන් හෝ වෙනත් පවුලේ සාමාජිකයන් විසින් සිදු කර ඇති අතර, අනෙකුත් ස්ත්‍රී ඝාතනවලින් 5% ක් වෙනත් ආකාරයේ කාන්තා ඝාතන බව ගණන් බලා ඇත.
ඒ හා සමානව, දකුණු අප්‍රිකාවේ ගවේෂණාත්මක පර්යේෂණවලින් පෙනී යන්නේ ගෘහස්ථ ගෝලයෙන් පිටත ද ස්ත්‍රී ඝාතන සිදු වූ බවයි. 2023 දී යුරෝපා සහ ඇමෙරිකානු කලාප දෙකේ සමීප සහකරුවන් හෝ වෙනත් පවුලේ සාමාජිකයන් විසින් ඝාතනය කරන ලද කාන්තාවන් අතරින්, යුරෝපයේ 64% ක් සහ ඇමරිකාවේ 58% ක් ඔවුන්ගේ සහකරුවන් විසින් කරන ලද ඝාතනයන් වේ.
පවතින දත්ත මත පදනම්ව UN දත්ත වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ සෙසු රටවල සහකරුවන් අතින් 41% ක් සහ පවුලේ සාමාජිකයන් අතින් 59% ක් කාන්තාවෝ සහ ගැහැනු ළමයින් වෙති.
ශ්‍රී ලංකා පොලිසියේ 2023 වර්ෂයේ වාර්තා අනුව එම වසර අවසාන වන විට අවුරුදු 16 ට වැඩි ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 559 ක් වන අතර අවුරුදු 16ට අඩු ස්ත්‍රී දූෂණ සඳහා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 3201කි. එයින් 723ක් ස්ත්‍රියගේ කැමැත්තෙන් තොරව සිදු කරන ලද ස්ත්‍රී දූෂණයන් සඳහා අත්අඩංගුවට පත්වූ පිරිසයි.
එසේම කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත වාර්තා අනුව 2023 වසර අවසාන වන විට කාන්තාවන්ට පහර දීම් සහ තුවාල සිදු කිරීම් 3884ක් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් 1584ක් වාර්තා වී ඇත. එම වාර්තා අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 2022 වසරේදී මරණ 59කුත්, 2023 වසරේ මරණ 24ක් සහ 2024 වන විට මරණ 21ක් වාර්තා වී ඇත. එසේම කාන්තා ග්‍රහණ අපරාධ යටතේ 2024 වර්ෂයේ නොවැම්බර් වන විට ස්ත්‍රී දූෂණ 195ක් සහ මිනීමැරීම් 92ක් සිදු වී ඇති බව එම වාර්තාවල සඳහන්ය.
රනිල් ධර්මසේන