දූෂණ විරෝධී ජාතික සැලැස්ම ජාතියේ ඇගයීමට ලක්විය යුතුයි – කරු ජයසූරිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම වැදගත් මෙන්ම ජාතියේ ඇගයුමට ලක්විය යුතු පියවරක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉමහත් බාධාවක්ව  පවතින අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණ පෙරදැරිව දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මක් එළිදැක්වීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාමත් ඉහළින් අගය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අල්ලස හා දූෂණය රටින් තුරන් කිරීම සඳහා අපේක්ෂා සහගතව සිටින පොදු ජනතාවගේ බලාපොරොත්තු මෙම වෑයම හරහා ඉටු වනු දැක්ම අපගේ ද ප්‍රාර්ථනය වන බව සඳහන් කරනු කැමැත්තෙමු. එමෙන්ම මෙම කාර්යයේදී  මූලිකත්වය ගෙන කටයුතු කරන ගරු ජනාධිපති තුමාගේ නායකත්වය අප ඉහළින්ම අගය කරන්නෙමු.

එමෙන්ම මෙම වැදගත් උත්සාහය අප සලකන්නේ 2000 වසරේදී රෝපනය කරන ලද 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මුළපුරන ලද අපේක්ෂාවහි එක්තරා පළදැරීමක් ලෙසටය. එහිදී මේ රටේ සිවිල් සමාජය උදාර අරමුණු පෙරදැරිව යහපත් ආණ්ඩුකරණ රාමුවක් උදෙසා රජයට ද මඟපෙන්වමින් සියළුම දේශපාලන ප්‍රවාහයන් සමග එකට එක්ව ක්‍රියාකළ ආකාරය ද අපට  සිහිපත් වේ. එදා ඒ සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකු අද වන විට ජීවතුන් අතර නැත. ඒ සියළුම දෙනා අපි මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

එමෙන්ම අල්ලස හා දූෂණයට එරෙහිව නව නීති බලාත්මක කිරීම සඳහා මෙන්ම අදාළ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ සමාජය තුළින් මතුවූ බලවත් හඬට කන්දෙමින් ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග සඳහා හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පිට වැදගත් වැඩ කොටසක් සිදුකරන ලද හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ රටේ සිවිල් සමාජ සංවිධාන සමග එක්ව කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වන බව සිහිපත් කිරීම අපගේ යුතුකමකි. එමෙන්ම අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ඒ සඳහා ලැබුණු සහය අගය කල යුතු වේ.

ඒ අනුව වර්ථමාන රජයේ ප්‍රමුඛතම අරමුණක් වන අල්ලසින් හා දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන ප්‍රයත්නයට  සිවිල් සමාජ සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒකමතිකව සුබ පතන අතර ගරු ජනාධිපතිතුමා එහිදී ප්‍රදර්ශනය කරන දැවැන්ත අධිශ්ඨානය කෙරෙහි ප්‍රශංසා  කරන්නෙමු.

Leave A Comment