දූෂිත චෞර වළල්ල රටින් තුරන් කිරීමේ වගකීම ඊළඟ පරම්පරාවට දෙන්නේ නෑ – ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වමින් ජනපති කියයි

ශ්‍රී ලංකාවේ දූෂිත නිලධාරී යාන්ත්‍රණය මැයි මාසයෙන් පසු වෙනස් කරනවා
අනාගත පරපුරට සුපිළිපන්න රටක් හදන්න සියලුදෙනාගේ සහාය ඕනෑ

අපිට වසරකට පෙර නිදහස ගත් ඉන්දියාව අභ්‍යාවකාශය ජය ගනිද්දී අපි බංකොලොත්

ලංකාවෙන් ඈත්වුණු ආයෝජකයෝ දැන් ශ්‍රී ලංකාවට සමීපවෙලා – ජපන් තානාපති අකියෝ ඉසමටා

අල්ලස හා දූෂණය නමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වනවිට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (09 දා) පැවති ”ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

අල්ලස හා දූෂණය නමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද අවධාරණය කළේය.

නීතියට අනුගත වන හා නීතියට බියවන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත්, අපරාධයකට දඬුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධ වන ඖෂධ ගෙන ඒම දක්වාත්, සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්, ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවේ සොරාකන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතුවලට හිටපු පාලකයන් ආරක්ෂාව සැපයූ බවද සිහිපත් කළේය.

රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පසිඳලන ආයතනවල කිහිප දෙනකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, එය මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කළේය.

අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබාදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබාගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද කියා සිටියේය.

ජනතාවගේ සෑම රුපියලකටම වගකියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේ කිරීම තුළින් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ විශ්වසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බවද අපරාධයක් සිදුකර නීතියෙන් බේරී යෑමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

”ජාතික දූෂණ විරෝධී 2025-2029 ක්‍රියාකාරි සැලැස්ම” මගින් රට “සුපිළිපන් දේශයක් කරා” ගෙන යෑම අරමුණ වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගීත්වය, ආයතනික ශක්තිමත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ සලසන උපායමාර්ගික ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස හා දූෂණය තුරන් කිරීම වඩාත් තීරණාත්මක සාධකයක් වන අතර ශ්‍රී ලංකාව තුළ එකී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හඳුනාගත හැකිය. ඒ අනුව, අල්ලසින් තොර සමාජයක් නිර්මාණය කිරීම උදෙසා සියලු අංශ හරහා ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය.

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සියලුම පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් පවත්වන ලද අතර භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ජාල හරහා දූෂණ ගැටලු පිළිබඳ මහජන මතය තක්සේරු කිරීම සඳහා සිදුකරන ලද පුළුල් සමීක්ෂණයක්ද එයට ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනිසුරුවරු, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, අන්තර්ජාතික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, ප්‍රජා පාදක සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ අවශ්‍යතා ඇති කණ්ඩායම්, ජනමාධ්‍ය, තරුණයන්, ළමුන් ඇතුළු සමස්ත මහජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය අත්දැකීම් සහ සියලුම පළාත්වල විවිධ කණ්ඩායම්වලින් රැස් කරන ලද යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.

මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරමින්, දූෂණයට එරෙහිව සටන් කරන, දුෂණය පිටු දකින පුරවැසියන් පිරිසක්, දුෂණයට එරෙහිව සටන් කිරීමට සියලු ආකාරයෙන් සහාය දෙන දේශපාලන කැමැත්තක්, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පසුතලයන් සහ සුපිළිපන්න රාජ්‍ය සේවයක් සමග සියලුම ක්ෂේත්‍රයන්හි සුපිළිපන්න බව ඇති කරමින්, අනාගත පරපුරට සුපිළිපන්න රටක් උදා කර දීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතාද මෙම උත්සව සභාව ඇමතූ අතර මෙතෙක් පැවැති පාලකයන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාවෙන් ඈත්ව ගිය ආයෝජකයන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා නැවත ශ්‍රී ලංකාවට සමීප වෙමින් සිටින බව තානාපතිවරයා පැවසීය.

විනිවිදභාවය සහ යහපාලනය තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා මූලික කුලුනු බව දැඩි ලෙස විශ්වාස කරන බැවින්, ජපානය ලොව පුරා දූෂණය වැළැක්වීමේ පියවරයන්ට සහාය දක්වන බවද ජපාන තානාපතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසූසා කුබොටා මහත්මියද මෙහිදී අදහස් දැක්වූ අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පළමු ජාතික බදු ගෙවන්නන්ගේ සංගණනයේදී සිදු කළ සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 84% ක් දූෂණය, බදු ගෙවීමට ඇති කැමැත්තට සෘජුවම බලපාන බව පෙන්වා දී තිබෙන බවද සඳහන් කළාය. දූෂණය ආයෝජන වළක්වන බවත් ව්‍යාපාර කිරීමේ පිරිවැය වැඩි කරන බවත්, තිරසාර සංවර්ධනය සහ මානව ආරක්ෂාව අඩාල කරන බවත් දූෂණය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 1.3ක් අහිමි වන බවත් කොබොටා මහත්මිය පෙන්වා දුන්නාය.

මෙවර අයවැය කතාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන් පරිදි බදු ගෙවන්නන්ගේ සෑම ශතයකටම රාජ්‍යය වගකිව යුතුය යන ක්‍රියාකාරී සැලැස්ම ශ්‍රී ලාංකික සමාජයේ පරිවර්තනය සඳහා මාර්ග සිතියමක් වනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදාපතිවරුද, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද, රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

divaina

Leave A Comment