
දේශබන්දුගේ මූලික විරෝධතා හා ඉල්ලීම් පරීක්ෂණ කමිටුව නිෂ්ප්‍රභ කරයි
- CNL Reporter
- May 20, 2025
- දේශපාලන
- දේශබන්දු
- 0 Comments
පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව වෙත, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් පරීක්ෂණ කමිටුව විසින් ඊයේ (19) නිෂ්ප්‍රභ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්. එම්. එන්. පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්. එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු මෙම කමිටුව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේය. මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට එල්ල කර ඇති චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය පරීක්ෂණ කමිටුව විසින් ලබාදුන් අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා විසින් මූලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම මහතා තම සේවාදායකයා වෙනුවෙන් මූලික විරෝධතා තුන සහ යෝජනා දෙක ඉදිරිපත් කරමින් කරුණු දැක්වීම සිදු කළේය. එම කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගි වූ අතිරේක සොලිසිටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාව සටහන් කළහ. සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට මෙහිදී තීරණය විය.
කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කරන ලදි. 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව සහ එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඒ අනුව අදාළ පරීක්ෂණ කමිටුව පත් කිරීම සිදුවිය. මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන් පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත් කිරීම සිදු විය. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට ඊයේ පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටිය ද ඒ මහතාගේ නීතිඥවරයා සිය සේවාදායකයා වෙනුවෙන් අදහස් දැක්වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කරුණු විමසීමක් ඊයේ සිදු වූයේ නැත.
ස්වර්ණා විජේකෝන්