නව යුගයකට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයටකට යොමු විය යුතුයි – කුරු ජයසූරිය

රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකාවට නව යුගයක් උදාකර ගැනීම උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතකට යොමු වීම අත්‍යවශ්‍ය හා ප්‍රධානතම කාර්යය වනු ඇතැයි තරයේම විශ්වාස කරන අප සංවිධානය ඒ සඳහා ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේගය රජය  ඒ සඳහා නිසි අවධානය යොමු කරවනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.

එහිදී මෙවර නිදහස් දිනයේ දී ජනාධිපතිතුමා රට හමුවේ අවධාරණය කළ ආකාරයට ජාතික හා ආගමික සමගිය වෙනුවෙන් කැපවීමේ ඇති අවශ්‍යතාවය අප සංවිධානය ඉතා ඉහළින් පිළිගන්නෙමු. එමෙන්ම එකී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ  ක්‍රියාවලිය ලොව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුගතව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කරන්නා වූ ක්‍රියාමාර්ගයක් විය යුතුව ඇතැයි ද අප බලාපොරොත්තු වන්නෙමු.

රටට ගැලපෙන ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ වගකීම් සහගත ක්‍රියාවලිය සලකා බැලීමේදී එය ක්ෂණිකව හෝ කඩිමුඩියේ සිදුකළ හැකි කටයුත්තක් නොවන බව පිළිගන්නා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේදී රට හමුවේ ප්‍රතිඥා දුන් ආකාරයට යම් කාල රාමුවක් ඉදිරිපත් කරමින් ඒ සඳහා ප්‍රවේශ වීමට හැකියාවක් තිබේ. යම් හෙයකින් එම කටයුත්ත අනවශ්‍ය ලෙස ප්‍රමාද වුවහොත් එය ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට ද හානිකර විය හැකිය. එය නොවිය යුතු තත්වයකි.

මෙම ක්‍රියාවලියට අදාළව අප විසින් පෙන්වා දෙනු කැමැති ප්‍රවේශයක් ද ඇත. එනම් ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුව ඒ සඳහා යොමු කරන ලද අවධානයයි. එහිදී ඒ සඳහාම පත්කළ කමිටුවක සභාපතිත්වය දරමින් වර්ථමාන ජාතික ජන බලවේගයේ හිතවතෙකු වන නීතිඥ ලාල් විජේනායක මැතිතුමා දැක්වූ දායකත්වය ඉතා ගරුකටයුතු බව සඳහන් කළ යුතුය. එමෙන්ම පොදුවේ ගත්කල එම ක්‍රියාවලිය එදා පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝ පාර්ශ්වයන්හි ගරුත්වයට ද හේතු වූ බව සිහිපත් කළ යුතුව තිබේ.

මහජනතාවගේ අති බහුතර ආශීර්වාදයෙන් බලයට පත්ව සිටින වර්තමාන රජය මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම ද  අනෙකුත් පක්ෂ අති බහුතරය ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මජනතාව හමුවේ සිදුකර ඇති සපථ කිරීම සැලකිල්ලට ගැනීමේදී මෙම රජයට ඒ සඳහා රටේ සියළුම පාර්ශ්වයන්හි සහය මෙන්ම රටේ සමස්ථ ජනතාවගේ ආශිර්වාදය ද  නොමදව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ විසින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කරන ලද එකායන අභිලාෂය වූ රටට යහපත උදාකරන්නා වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයක් සඳහා වන කැපවීම තවදුරත් ඉදිරියට ගනිමින් අප සංවිධානය ඉතාමත් උනන්දු සහගතව ඉදිරියේදීත් ඒ සඳහා කැපවන බව ජාත්‍යාලයෙන් යුතුව සඳහන් කරනු කැමැත්තෙමු.

Leave A Comment