නාමයෝජනා පෙත්සම් පෙරළා බලයි

විභාගය 01දා ශ්‍රේෂ්ඨාධිකරණයේදී
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 16ක් සලකා බැලීම සඳහා ලබන අප්‍රේල් 1 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29දා) දින නියම කළේය.

එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන හා සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් කැඳවිණි. ප්‍රතික්ෂේප කෙරුණු එකී නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යයනය කරමින් පවතින බව අධිකරණයට දැනුම්දුන් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කිලිනොච්චිය, නුවරඑළිය හා මහනුවර ඇතුළු ප්‍රාදේශීය සභා මහ නගර සභා කීපයකට තම පක්ෂ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙසත් ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළි භාර ගැනීමට නියේග කරන ලෙසත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් එම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

 

Leave A Comment