
නාමල්ගේ තවත් මුදල් විශුද්ධිකරණ නඩුවකට දින දෙයි
- CNL Reporter
- February 14, 2025
- දේශපාලන
- නාමල්ගේ තවත් මුදල් විශුද්ධිකරණ නඩුවකට දින දෙයි
- 0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සී නමැති සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (13) දැනුම් දෙන ලදි.
සිද්ධියට අදාළ පැමිණිල්ල අගෝස්තු මස 7 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙස ද නියෝග කළාය.
මෙම පැමිණිල්ල ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ ඇතුළු පිරිස අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි. නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාව යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබිණි.
මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
කල්පනි අබේසිංහ