නීතිපතිගේ නියෝගය තාවකාලිකව අත්හිටුවයි

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා විසින් ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මියට ඊයේ (13) දැනුම් දුන්නේය.

මෙම ඝාතන සිද්ධියේ සැකකරුවන් නිදහස් කළ හැකි ද යන්න සම්බන්ධයෙන් වන වාර්තාවක් දින 14ක්‌ ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් මස 27 වැනි දින කර තිබූ නියෝගයට අනුව නීතිපතිවරයාගේ එම දැනුම් දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් අධිකරණයට දන්වන ලදි.

2009 වර්ෂයේ මාධ්‍යවේදී වසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම හේතුවෙන් හිටපු හමුදා බුද්ධි අංශ සාජන්වරයකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම අත්අඩංගුවට ගත් අතර, එවක ගල්කිස්ස පොලිස් අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හෙට්ටිආරච්චිගේ දොන් තිස්ස සුගතපාල සහ එම බලප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති විතාරණ ආරච්චිලාගේ සිරිමෙවන් ප්‍රසන්න යන සැකකරුවන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදි.

සිද්ධියට අදාළ එම සැකකරුවන් මුදාහරින ලෙසට නීතිපතිවරයා පසුගියදා දැනුම් දී තිබූ අතර විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයාට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් නඩුව යළි මැයි 30 වැනි දින කැඳවීමට අධිකරණය නියෝග කළ අතර එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙව්නි මහගමගේ

Leave A Comment