
නීතිය හා සාමය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා – උසාවියටත් යන්න බැරි නම් රටේ තත්ත්වය මොකක්ද?
- CNL Reporter
- February 20, 2025
- දේශපාලන
- නීතිය හා සාමය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා – උසාවියටත් යන්න බැරි නම් රටේ තත්ත්වය මොකක්ද?
- 0 Comments
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
පාතාලයට කිසිම බුරුලක් නෑ: නීතිය තදින් ක්‍රියාත්මක කරනවා
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස
රට තුළ සිදුවන මීනිමැරීම් ඇතුළු පාතාල ක්‍රියා සම්බන්ධයෙන් කිසිම බුරුලක් නොදී නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්‍ෂයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරුන් අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මතු කළ අදහස්වලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය. එහිදී මතු වූ සංවාදය මෙසේය.
දයාසිරි ජයසේකර මහතා – මේ මොහොත වන විට අලුත්කඩේ උසාවියේ ලෝයර් කෙනකු ලෙස ඇවිත් උසාවි අංක පහේදී වෙඩි තියලා ගිහින් තිබෙනවා. ඒ වගේම මිද්දෙණියේදී වෙඩි තැබීමකින් ළමයින් දෙදෙනකු සමග පුද්ගලයකු ඝාතනයට ලක් වෙලා. මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම විනිසුරුවරුන්ගේ ආරක්ෂාව. නීතිඥයෙක් කියලා කෝට් එකක් ඇඳගෙන ඇවිල්ලයි ගනේමුල්ල සංජීවට වෙඩි තියලා ගිහින් තිබෙන්නේ. ඔහු පාතාලයේ එක වෙනම කාරණයක්. මේ ටිකට මරණ හැත්තෑ ගණනකට වැඩියි. මේ ගැන අපි සීරියස්ලි කල්පනා කළේ නැත්නම් මේක කොහෙන් නතරවෙයිද දන්නේ නෑ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා- පාතාලයේ කටයුතු පිළිබඳව ආණ්ඩුව සීරියස්ලි කල්පනා කරනවා. ක්‍රියාමාර්ග ගණනාවකුත් ගැනීමට අවශ්‍යව තිබෙනවා. පාතාලය කළු සල්ලි සහ කුඩු ජාවාරම ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් සමග සම්බන්ධයි. ආරක්ෂක අංශ සාමාජිකයන් ද මේවාට සම්බන්ධවෙලා තිබෙනවා. මේ ගැන ගැඹුරින් අවධානය යොමු කරන බව කියන්න ඕනෑ.
විපක්ෂ නායක- නීතිය සහ සාමය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. දිනපතාම මිනීමැරුම් සිදු වෙනවා. කුඩා දරුවන් පවා මැරෙනවා. මීට වඩා මේ ගැන ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි කියා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. අපිත් රජයට සහයෝගය ලබාදෙන්න සූදානම්. දැන් අධිකරණයටත් යන්න බැරි නම් මොකක්ද රටේ තත්ත්වය? මේක බරපතළ ප්‍රශ්නයක්. නීතිය හා සාමය ස්ථාපිත කරන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා- ඔව් මේක බරපතළ ප්‍රශ්නයක්. අපි රජය මගින් දීපු ගිනිඅවිත් ආපසු අරගෙන තිබෙනවා. පිටරටවල සිටින අපරාධකරුවන් නැවත ගෙනැවිත් තිබෙනවා. පාතාල කටයුතුවලට කිසිම බුරුලක් නෑ. නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන