
පළාත් පාලනයේ වගකීම හා වගවීම සම්බන්ධ දැනුවත්භාවය අතිෂය වැදගත් – නීතිඥ හරීන්ද්‍ර බානගල
- Sujeewa Senerath
- March 31, 2025
- දේශපාලන, පුවත්
- election, election commission, harendra banagala
- 0 Comments
මෙවර පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය පසුගිය පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස් විය හැකි බව පෙන්වා දෙමින් සාකච්ඡාවට එක් වූ නීතිඥ හරීන්දු බානගල සාම්ප්‍රදායික පළාත් පාලනය පවතින බලයේ දිගුවක් හෝ පවතින බලයට අභියෝගයක් වූ බව කීවේය.
මේ දිගුව හෝ අභියෝගය සිදු වුණේ එකම දක්ෂිණාංශික බල කඳවුරක, අවඥාවට ලක් වුණ ‘තට්ටුමාරුවක්’ තුළ. නමුත් මෙවර තත්ත්වය වෙනස් වීමට නියමිතයි. දක්ෂිණාංශික නොවන දේශපාලන බලවේගයක් ජනාධිපති ධුරය සහ පාර්ලිමේන්තුවේ අති බහුතර බලය දිනා ගෙන තිබෙනවා. දැන් ඔවුන් බලයේ බිම් මට්ටම වෙතත් ප්‍රවේශ වීමට සූදානමින් සිටිනවා. අනෙක් අතට මෙවර පොදු සතුරා බවට ජාතික ජන බලවේගය පත්ව තිබෙනවා. ඒ නිසාම ජන කියමනට කියනවා වාගේ නයි – මුගටි එකම කොටේට ගොඩවෙලා සිටින බව අපි සමහර ස්ථානවල දකිනවා. ඒ නිසාම ගම තුළ මේ දේශපාලන කඳවුරට (ජජබ) වටකොට පහරදීමේ ස්වභාවයක් අපි දකිනවා හරීන්ද්‍ර බානගල වත්මන් පළාත් පාලන මැතිවරණය තුළ බල අරගලය මෝදු වන ආකාරය පැහැදිලි කරමින් පෙන්වා දුන්නේය.
මෙහිදී ඔහු සඳහන් කළේ ආණ්ඩුවට දිනාගත් බලය ආරක්ෂා කර ගැනීමේ, තහවුරු කර ගැනීමේ අභියෝගයට මුහුණදීමට සිදුවනු ඇති බවත් මේ හේතුව නිසාම බිම් මට්ටමේ දී සාමකාමී බව යම් තරමකට ගිලිහී යාමේ අනතුරක් පවතින බවත් ය.
සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය තුළ ඡන්දදායකයා සහ දේශපාලන පක්ෂය අතර යම් තරමක පරතරයක් පවතින්නේ ය. ඔවුන් එම පරතරය අඛණ්ඩව නඩත්තු කළේය. නමුත් මෙවැනි පරතරයක් නොතිබූ, මිනිසුන් සමඟ උරෙනුර ගැටෙමින් දේශපාලන කළ දේශපාලන ව්‍යාපාරයක් මේ මොහොතේ රාජ්‍ය බලය දරන්නේ ය. මෙය සුවිශේෂ තත්ත්වයකි.
විශේෂ තත්ත්වයක්
මේක විශේෂ තත්ත්වයක්. දේශපාලනඥයා සහ ඡන්දදායකයා අතර පරතරය ඉතාම අඩුයි. නමුත් මේක ඉදිරි මැතිවරණයේ දී ඔවුන්ගේ හැසිරීමට කෙසේ බලපාවිද ? යන්න විමසා බැලිය යුතුයි. ඒ නිසා මෙවර පළාත් පාලන මැතිවරණය කෙසේ හැසිරේවිද ? යන්න ගැන කල්තියා අනුමාන කිරීම් කිරීම තරමක් දුෂ්කර තත්ත්වයක තිබෙනවා හරීන්ද්‍ර බානගල පෙන්වා දුන්නේ ය.
මෙහිදී ඔහු සඳහන් කළේ, වගවීම ද නොසලකා නොහැරිය යුතු කරුණක් බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ ද පළාත් පාලනය වැදගත්ම පාලන ක්‍රමය ලෙස සැලකූ බව පෙන්වා දුන් හරීන්ද්‍ර, ලෝක සම්මතය අනුව ද ‘පළාත් පාලනය වඩාත්ම වැදගත් පාලන ක්‍රමය ලෙස සලකන බව කීවේය. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය, යම්කිසි ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හෝ ක්‍රියාමාර්ග ජනතාවට වඩාත් දැනෙන්නේ ඒක පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරවීම තුළින්. උදාහරණයක් විදිහට ආණ්ඩුව කිව්වොත් ‘අපි අපේ ජනතාවට වඩාත් සුවපහසු මහා මාර්ග පද්ධතියක් නිර්මාණය කරනවා කියලා ඒක ජනතාවට වඩාත් දැනෙන්නේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය තුළිනුයි. ඒ වගේම සෞඛ්‍ය, අධ්‍යාපනික, සුභසාධන ආදි බොහෝ අංශ ජනතාවට දැනෙන ලෙස ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලනය හරහා ක්‍රියාත්මක වන විටයි ඔහු තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ය.
මේ තත්ත්වය තුළ අපට පැහැදිලි වෙනවා මධ්‍යම ආණ්ඩුවේ වැඩපිළිවෙළ වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වඩාත්ම යෝග්‍ය යාන්ත්‍රණය තමයි පළාත් පාලන ආයතන කියන එක. ඒ වගේම පළාත් පාලන ආයතනවලට තේරී පවත්වන සභිකයින්ගේ මුඛ්‍ය වගවීම වන්නේ ජනතා අභිලාෂයන්ට අනුව කටයුතු කිරීමයි. නමුත් බල අරගලයක් තුළ මේ වගවීම කුමන දිශාවට යොමු වෙයිද ? කියන ගැටලුව අප හමුවේ තිබෙනවා” යැයි සඳහන් කළ හරීන්ද්‍ර බානගල තව අදහස තව දුරටත් මෙසේ ද පැහැදිලි කළේය, “පළත් සභා තුළ තමයි පළාත් පාලනය ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවගේ ජීවිතයට අදාළ බොහෝ කටයුතු පවත්වා ගෙන යාමේ වගකීම හා වගවීම තිබෙන්නේ පළාත් පාලන ආයතනවලට. නමුත් අපි මුහුණ දෙන ඛේදවාචකය තමයි ‘කිසිම පළාත් පාලන සභිකයෙක් මේ වගකීම හා වගවීම නිසි පරිදි වටහා නොගැනීම. ඔවුන් ඒක දැක්කේ දේශපාලනිකව. පාරකට ලයිට් එකක් දාන්නේ, තාර ටිකක් දාන්නේ ඡන්දේ ගන්න බලාගෙන. ඒක තමන්ගේ වගකීමක් ලෙස ඔවුන් දකින්නේ නැහැ
මෙහිදී හරීන්ද්‍ර පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සමාන හෝ ඊටත් ඔබ්බට ගිය වගකීමක් හා වගවීමක් පළාත් පාලන ආයතන සභිකයෙකු ඇති බවයි.
වත්මන් සන්දර්භය තුළ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් හරහා සභිකයින් තෝරා පත්කර ගැනීම ‘අතිෂය’ අභියෝගාත්මක කාර්යයක් වනු ඇතැයි අනාවැකි පළ කළ හරීන්ද්‍ර, එක් බල කඳවුරකින් ඊට හාත්පතින්ම වෙනස් වූ තවත් බල කඳවුරකට බලය හුවමාරු වී ඇති වත්මන් වාතාවරණය තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සැලකිය යුතු ලෙස අභියෝගාත්මක විය හැකි බවට අනාවැකි පළ කළේය.
මේ තත්ත්වය තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අභියෝගය මැතිවරණ කොමිෂම, පොලිසිය ඇතුළු සියලුම ආයතනවලට තිබෙනවා. ඊටත් වඩා වැඩි වගකීම් පුරවැසියන්ට සහ අදාළ අපේක්ෂකයින්ට තිබෙනවා හරීන්ද්‍ර බානගල අවධාරණය කළේය.
පළාත් පාලන ආයතන තුළ ආණ්ඩු පක්ෂය – විපක්ෂය යන අදහස නොව පොදුවේ සභිකයින් යන අදහස නිර්මාණය වන්නේ පළාත් පාලනය නිර්දේශපාලනීකරණය වීම තුළ බව සිහිපත් කළ හරීන්ද්‍ර වැඩි දුරටත් පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන තුළ කමිටු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඉහත දක්වන ලද වැදගත් මූලධර්මයක් වන පළාත් පාලන ආයතන බල කඳවුරකට ගැති නොවීම තහවුරු කර ගැනීම පිණිස බවයි.
පළාත් පාලනයේ වගකීම හා වගවීම සම්බන්ධ දැනුම හා අවබෝධය තව දුරටත් පුළුල් කළ යුතු බව පෙන්වා දුන් හරීන්ද්‍ර පළාත් පාලන සභිකයින් තමා තේරී පත් වූ දේශපාලන පක්ෂයේ හෝ ව්‍යාපාරයේකැඩපතක් නොවී ප්‍රජා පාලනයේ පිළිබිඹුවක් විය යුතු බව දැඩිව අවධාරණය කළේය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ සංවාද මාලාවේ ‘බල අරගලයෙන් ඔබ්බට – පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂා කරන වගවීම’යන තේමාව යටතේ පවත්වනු ලැබූ සංවාදය ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත සංෂිප්ත ලිපියකි.)