පළාත් පාලනය ගමේ පාලනයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා – මංජුල ගජනායක

පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්‍යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය.

හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ

මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත වඩාත්ම පරිපූර්ණ වාර්තාව තමයි මේ අභයවර්ධන වාර්තාව. මේ වාර්තාව ක්‍රියාවට පරිවර්තනය කරගත නොහැකි වුණත් වත්මන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය මේ වාර්තාව මඟින් නිර්දේශ කර තිබුණ එකක්. ඒත් මෙම කොමිෂන් සභා වාර්තාව මඟින් නිර්දේශ කර තිබූ වැදගත්ම කරුණ තමයි, මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට පෙර ඊට අදාළ අනුශාංෂික කාරණා ප්‍රතිස්ථාපනය කළ යුතු බවට වන නිර්දේශය. මේ අනුව මට පැහැදිලි වන කරුණක් තමයි අපි හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නැහැ කියන කාරණය මංජුල පළාත් පාලන විෂයෙහි අහිමිකර ගත් පළමු ස්වර්ණමය අවස්ථාව පෙන්වා දුන්නේය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් පාලන අමාත්‍යවරයාව සිටියදී 2009 දී පළාත් පාලනය පිළිබඳ ජාතික කෙටුම්පතක් සම්පාදනය කළ බව පෙන්වා දුන් මංජුල එය පුළුල් සංවාදයකට ලක්කළ බව ද සිහිපත් කළේය.

ඒක කැලේටම විසි කරලා, පළාත් පාලනය තුළ විපක්ෂයක් නැත කියන මතවාදය හැදුවා මංජුල තවත් පැතිකඩක් නිරාවරණය කරමින් ප්‍රකාශ කළේය.

මෙම කෙටුම්පත එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ අවස්ථාවේ දී ජනධිපතිවරයා කළ ප්‍රකාශයක් හාස්‍යජනක ස්වරයෙන් යළි සිහිපත් කළ මංජුල හත් දෙයියන්නේ මේකේ තියෙන මෙලෝ සිංහලක් මටවත් තේරෙන්නේ නැහැ, ගමේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් මේක ලියන්න යැයි ජනාධිපතිවරයා පැවසූ බව ද මංජුල කීවේය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා මෙතනදී අපහසුතාවට පත්වුණත් ඒ ප්‍රයත්නය නම් අසිරිමත්. නමුත් ජනාධිපති මහින්ද කිව්වේ මේකේ භාෂාව නිරවුල් කරන්න කියලා. ඒත් සිද්ධ වුණේ මුළු වාර්තාවම සම්පූර්ණයෙන් අතුරුදන් වීමයි

ඉහත දක්වන ලද වාර්තා දෙකම යළි කරළියට ගෙන සංවාදයට ලක් කළහොත් බලකාමයෙන් තොරව පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් පොටක් පාදා ගන්න පුළුවන් බව මංජුල මෙහිදී පෙන්වා දුන්නේය.

වත්මන් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය තුළ කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් යන සංකල්පය අතීත කාමය මත පදනම් වූ අදහසක් වුවත් එය යථාර්ථවාදී අදහසක් නොවන බව මංජුල මෙහිදී පැහැදිලි කළේය.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ එකක් දෙකක් එකතු කරලා නිර්මාණය කළ මේ කොට්ඨාශය පවා සැලකිය යුතු තරම් විශාලයි. ඒ නිසා අපිට වෙනත් ඵලදායී විකල්පයක් සොයා ගන්න වෙනවා යැයි පෙන්වා දුන් මංජුල එය බලකාමයෙන් ගළවා ගත හැකි ආකාරය ද පැහැදිලි කළේය.

මම විශ්වාස කරන එකක් තමයි අන්ත දූෂිත යැයි නාමකරණය වී ඇති පළාත් පාලන ආයතන මේ පක්ෂ දේශපාලනයෙන් විතැන් කර නිර්දේශපාලනික සන්දර්භයක් තුළ ස්ථානගත කරන්න කිසිසේත්ම බැහැ කියන එක. නමුත් තත්ත්වයේ විලෝමයන් ද දැකගන්න පුළුවන්. ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ දේශපාලන පෞරුෂය අනුව යම් යම් සාධනීය තත්ත්වයන් අපි දැක තිබෙනවා. ඒ නිසා මේ පළාත් පාලන සභිකයින් සමඟ අඛණ්ඩ ප්‍රජා සංවාදයක් සිදුකළ හැකි ක්‍රමවේදයක් සොයා ගත යුතුයි. ඒ හැර අපට විකල්පයක් නැහැමංජුල අවධාරණය කළේය.

බලවත්ම පනත

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරුණු විට ලංකාවේ බලවත්ම පනත 1987 අංක 43 දරන  පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත බවයි.

මේ පනත හරහා මොකක්ද කරන්න බැරි ? පළාත් පාලන ආයතනයේ සභාපතිවරයාට මොනවද කරන්න බැරි ? නමුත් ඇත්තටම මොකද වෙන්නේ. මධ්‍යම ආණ්ඩුවේ මුදල් ප්‍රතිපාදන යන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. මේ ආණ්ඩුවත් ඒ පාරේම සහ තවත් පාරවල් සොයා ගන්නා බව පැහැදිලියි. එහෙම වුණ ගමන් පළාත් පාලන ආයතන නිෂ්ක්‍රිය, නිර්ථක ඒවා බවට පත්වෙනවා. ඒ නිසා අප මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝගය තමයි පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ පළාත් පාලන ආයතනය ගමේ පාලනයට නතුකර ගැනීම. ඒක අභියෝගාත්මක වුවත් දිනාගත යුතු අභියෝගයක්.පළාත් පාලන ආයතන මුහුණ දෙන සැබෑ ගැටලුව සහ අභියෝගය මංජුල පැහැදිලි කළේය.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ සංවාද මාලාවේ ‘බල අරගලයෙන් ඔබ්බට – පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂා කරන වගවීම’යන තේමාව යටතේ පවත්වනු ලැබූ සංවාදය ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත සංෂිප්ත ලිපියකි.)

Leave A Comment