
පළාත් පාලන ජන්ද විමසීම – පළමු දිනයේ ජයග්‍රාහකයා වී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවයි – මංජුල ගජනායක
- Sujeewa Senerath
- March 31, 2025
- දේශපාලන
- election, election commission
- 0 Comments
යෝජිත පළාත් පාලන ජන්ද විමසීම අපගේ එළිපත්ත අසළටම පැමිණ ඇත්තේය. ”අපි ඔය මැතිවරණ පස්සෙන් යන්නේ නැතැයි’ කියමින් උකටලීව සිටින අපගේ ජන සනුහරය, ජන්ද දිනය ළඟට එන විට උසේන් බෝල්ට් ආවේශ වී ජන්දයට විවිධ ප්‍රමාණයෙන් දායක වන්නේය. ඒ දකුණු ආසියානුවාගේ මැතිවරණ උණයි. එවැනි ආශක්ත බවකින් යුත් ජනතාවක් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය සෞඛ්‍යසම්පන්නය.
ඒ අතරේ ඕනෑම ජන්දයක නිල සමාරම්භය සේ සැළකිය හැකි නාම යෝජනා අදියර වෙත පළාත් පාලන ජන්ද විමසීම සේන්දු වූයේ පසුගිය 17 වැනිදාය. එය අවසන් වූයේ නීති ප්‍රකාරව සතියේ වැඩ කරන දින තුනහමාරක් ඇවෑමෙන් පසුගිය 20 වැනිදින මධ්‍යාහ්නයේය.එහිදී සිදුවූ දේ දැන් සියල්ලෝ දනිති. අපේක්‍ෂකයෝ 71,000 දහසකට මඳක් වැඩි ප්‍රමාණයක් මෙවර තරඟ කිරීමේ අභිලාශය දක්වා ඇති බව කොමිෂන් සභාවේ නොනිල ප්‍රකාශ තහවුරු කරයි. ඔවුන් සියලු දෙනා එක්ව භාරදුන් නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 4200 කට මඳක් වැඩිය. අවසන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්‍ෂේප කොට ඇති ප්‍රමාණය 425 කට ආසන්නය. නාම යෝජනා පත්‍ර භාරදී සතියක කාලයක් ඉකුත් වුවද ඉහත සංඛ්‍යාලේඛන ගැන අපට සඳහන් කිරීමට සිදුව ඇත්තේ ආසන්න හෝ මඳක් වැඩිය යනුවෙනි. ඊට හේතුව වෙනදා මෙන් මැතිවරණ කොමිෂන් සභාව නිල සංඛ්‍යා ලේඛන මෙතෙක් ජනගත කොට නොමැති වීමයි. එය ඔවුන් සතු නිල පැවරුමක් නොවන බව ඇත්තය. එහෙත් වත්මන් යුගයේ තොරතුරු මත පිහිණා යන බහුතරයක් දිවිගෙවන සමාජයක නිහඩව සිටීම යහපත් චර්යාවක් නොවේ.
වරක් Peter Drucker පැවසුවේ “The most important thing in communication is hearing what isn’t said” යනුවෙනුයි. එබැවින් මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් නොකියූ එහෙත් අපට සිතෙන කතාව අපි කිව යුතුය.
දැනට ප්‍රතික්‍ෂේප කොට ඇතැයි දැක්වෙන නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගන්නේ නම් 16% ක් පමණ වෙතැයි උපකල්පනය කල හැකිය. සමහර විටෙක මෙම සටහන, පුවත්පත මුද්‍රණයෙන් එළිදක්වන මොහොත වන විට මැතිවරණ කොමිසම නිවැරදි සංඛ්‍යා ලේඛන ජනගත කොට ද තිබිය හැකිය. ඉහත දැක්වූ ප්‍රතිශතය වෙනත් මේ හා සමාන පළාත් පාලන ජන්ද විමසීම් හා සළකා බැලීමේදී අරුමැසි එකක් නොවේ. එහෙත් මිනිස් දෑත හා අසීමිත ශ්‍රමය මූලිකම පදනම සේ සිදුවූ බොහෝ නිල කාර්යයන් දැන් දැන් ඩිජිටල් වේදිකා වෙත භාරදෙමින් ඇති මෙසමයේ සිදුවිය යුත්තේ නාම යෝජනා ජන්දෙන් ජන්දෙට ප්‍රතිශතාත්මකව වැඩි වීමද නොසේනම් ප්‍රතික්‍ෂේපවීම් තවදුරටත් මැතිවරණ ශබ්ධ කෝෂයෙන් අතුරුදහන් කිරීමද?
මෙරටේ පළමු වරට දීප ව්‍යාප්තව (උතුර හා නැගෙනහිර යන දෙපළාතේ හැර) පළාත් පාලන ජන්ද විමසීමක් පැවැත්වූයේ වසර 1991 මැයි මස 11 වැනි දිනයි. එය හැම අතින්ම මෙවර දීප ව්‍යාප්තව හත්වැනි වරට පැවැත්වෙන පළාත් පාලන ජන්ද විමසීම හා සමානය. එකී ජන්ද විමසීමේ පැවැත්වූයේ මැයි මාසයේදීය. මෙවරද වෙනසක් නැත. පැවැත්වීමට නියමිතව පැවැත්තේ වසර 1987 ද ඇතුළත්ව අවස්ථා දෙකකදීය. එහෙත් අවසන පැවැත්වූයේ බොහෝ ප්‍රමාද වීමෙනි. 1990 අංක 24 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධි විධාන) ජන්ද විමසීම් පනත මඟින් එතෙක් භාරගෙන තිබූ නාම යෝජනා අවලංගු කරන ලදී. මෙවර පාර්ලිමේන්තුව සිදුකල සේම එවරද අලුතෙන් නාම යෝජනා ලබාගැනීම සිදුවිය. ඊට අමතර වශයෙන් එවර ශ්‍රී ලංකාවේ පළමු වරට තරුණයන් සඳහා වන දේශපාලන නියෝජන කෝටාවක් හඳුන්වා දීමද සිදුවිය. ඒ නාම යෝජනා මට්ටමින් 40% ක් ලෙසිණි. වසර 2017 දී අනිවාර්ය නොකෙරුණු 30% ක්වූ තරුණ කෝටාව අලුතෙන් 25% ක් ලෙස පළමු වරට හඳුන්වා දෙන්නේ මෙවරය. එවර නාම යෝජනා කල තරුණ අපේක්‍ෂකයන් 6260 ක් වූ පිරිසෙන් 1188 ක් එනම් 19% ක ප්‍රමාණයක් ජයගත් බවද මෙහි සටහන් කිරීම ප්‍රයෝජනවත්ය.
බැලූ බැල්මට පළමු පළාත් පාලන ජන්ද විමසීම පවත්වා හරියටම අදට වසර 33 ක් හා මාස 10කුත් දින 19 ක් ගත වුවද අසමානකම් වලට වඩා කැපී පෙණෙන සමානකම් රාශියක් ඇත්තේය. එවර පළාත් පාලන ජන්ද විමසීම සඳහා අදාළ කරගත් ආයතන සංඛ්‍යාව 236 ක් විය.
කෙසේවෙතත් මෙම අතීත තොරතුරු වලට සමාන්තරව මෙවර පළාත් පාලන ජන්ද විමසීම පාදක කරගනිමින් සිදුවූ නාම යෝජනා ක්‍රියාවලිය දෙස පසුවිපරමක් කිරීම අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් සේ සැළකිය හැකිය. මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් තම හඬ අවදි කලේ නැත්තේ වුවද ප්‍රතික්ෂේපිත නාම යෝජනා පත්‍ර වල ප්‍රතිශතය නිසැකවම මැතිවරණ ප්‍රේමී ජනතාව තැති ගන්වනු ඇත්තේය. පළමු වරට දීපව්‍යාප්තව පැවැත්වූ ජන්දයේදී ලැබී තිබූ නාම යෝජනා සංඛ්‍යාව 870 ක් වූ අතර ඉන් ප්‍රතික්‍ෂේප වී තිබුනේ නාම යෝජනා පත්‍ර 73 ක් පමණි. එනම් දළ වශයෙන් 8% ක ප්‍රතිශතයකි. එහෙත් දශක තුනක් ඇවෑමෙන් අදාළ ප්‍රතිශතය දෙගුණ වී ඇත්තේය. එය පසුගිය පළාත් පාලන ජන්ද විමසීමට සමගාමීව ද අවගමනයක් සේ හැඳින්විය හැකිය. එවර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබූ නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 2046 ක් වූ අතර ඉන් ප්‍රතික්‍ෂේප කොට තිබුනේ නාම යෝජනා පත්‍ර 67 ක් පමණි (මෙවර කොමිසම භාරගෙන ඇති නාමයෝජනා සංඛ්‍යාව ඉන් දෙගුණයකටත් අධිකය).
සැබවින්ම එවකට පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව මෙන්ම වර්තමාන කොමිෂන් සභාවද යනු නාම යෝජනා පත්‍ර භාර ගන්නා ස්ථාන මිස ඒවා ප්‍රතික්‍ෂේප කරන තැනක් නොවේ. ඒ නිසාමදෝ නිශ්චිත නෛතික ප්‍රතිපාදනයක් නොමැත්තේ වුවද සෑම නාම යෝජනා භාර ගන්නා අවස්ථාවකදීම මැතිවරණ කොමිෂන් සභාව (සහ එවකට දෙපාර්තමේන්තුව) සහය ලබා දීමේ තැනැත්තෙක් හෝ (Help Desk) අදාළ ස්ථානයෙහි රඳවනු ලබන්නේය. එය මෙවරද එසේම සිදුව ඇත. එමඟින් ප්‍රතික්‍ෂේප වීමට ගිය නාම යෝජනා පත්‍ර නැවත බේරා ගැනීමට නිසි මඟ පෙන්වීමක් ලැබුණු බවට වන අතීත කතන්දර ද කේම්බ්‍රිජ් මෙන්ම සරණ පාරේ කාර්යාල පරිශ්‍රබදව අදටත් නින්නාදව පවතින බව අමතර වශයෙන් දැක්විය හැකි කරුණකි.
මෙවර සිදුව ඇත්තේ අනපේක්‍ෂිත යමක් වුවද අවසානයේදී බැලූ බැල්මට ජන්ද විමසීම පවත්වන්නටත් පෙර ම ජයග්‍රහණය ලබා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවයි. ඒ වැඩිම අපේක්‍ෂක පිරිසක් යළිත් සුපුරුදු ජන්දදායක කුලකයට පමණක් නතු කිරීමෙනි. (ජයග්‍රහණය යනු ඔවුන් අපේක්‍ෂා නොකරන එකක් වුවද, ප්‍රතික්ෂේපිත නාම යෝජනා සංඛ්‍යාවේ අධිකතර බව හමුවේ කවුරුන් හෝ ශුරයෙක් ඒ පසුපස සිටිය යුතු නොවේද?) එනයින්, මෙහි සිදුව ඇත්තේ කුමක්දැ දැයි සොයා ගැනීම සැමගේ කුතුහලය සංසිඳවා ගැනීමට හේතුවනු ඇත්තේය.
නිල වශයෙන් නොදන්නේ වුවද මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සමඟ අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් සිදුකරන නිරන්තර ගනුදෙනු නිසා දැනගන්නට ඇත්තේ වැඩිම ප්‍රතික්‍ෂේප කිරීමක් සිදුව ඇත්තේ තරුණ කෝටාවට අදාළ තාක්‍ෂණික අත්වැරදීම් හේතුවෙන් බවයි. ඊට අමතර වශයෙන් මද්‍යාහන 12 පසුවී පැමිණි ඇත්තන් මෙන්ම මාරාන්තික වැරදි කල ඇත්තන් ද බොහෝ දෙනෙක් සිට ඇත. මාරාන්තික වැරදි යනු නාම යෝජනා පත්‍රයක නිසැකවම පැවතිය යුතු කරුණු මඟ හැර නාම යෝජනා පත්‍ර භාර දීමයි. මෙම ලියුම්කරු වැරදී ගිය නාම යෝජනා පත්‍ර ඇතුලේ සිටි අපේක්‍ෂක අපේක්ෂිකාවන් කිහිපදෙනෙක් සමඟ දින දෙකක් තිස්සේ වරින්වර සිදුකල දුරකථන සංවාද මඟින් ග්‍රහණය කරගත් එක් කතාවක් මෙහි කිසිදු අතිශෝක්තියකින් තොරව සටහන් කරන්නට කැමැත්තෙමි. එය මෙහි බහාලන්නේ කිසිසේත්ම ඇයගේ ගෞරවයට හානි කිරීමට නොවේ. දේශපාලන පක්‍ෂ නාම යෝජනා සමඟ කරන සෙල්ලම අභියෝගාත්මක මෙන්ම වගකීම් විරහිත බව දැක්වීමටය. එසේ නොමැතිව මින් අගතියට පත් හා මවෙත කරුණු විස්තර කල තැනැත්තිය ඉතා කීර්තිමත් මෙන්ම වියපත් දේශපාලන ක්‍රියාකාරිනියකි).
”නොමිනේෂන් පුරවන්න පක්‍ෂ මුලස්ථානයට කතා කළා රාත්‍රී 3.30 ට. කලබලේ විස්තර ලියාගෙන ගෙදර ආවේ උදේ 8.30 ට. පස්සේ මුල් එකේ අකුරු අපැහැදිලි නිසා හිතවත් දුවෙකුට දුන්නා ලස්සන අකුරෙන් නැවත ලියන්න. එයා අවසන් නම් තුන ලියන්න පෙර තේකක් බොන්න නැගිටලා ගිහිල්ල. පස්සේ අමතක වෙලා ඉතිරි නම් තුන ලියන්න. මමත් ගෙදරට ආව අපේක්‍ෂක /අපේක්‍ෂිකාවන්ගේ අස්සන් අරගන්න මහන්සි වුනා. අන්තිමට කොලේ උස්සගෙන කොමිසමට දුවල ගියා. එතනට යනකොට 11.45 යි. මුලින්ම මුණගැහුනා එතන උදව් කරන්න හිටපු කොමිසමේ නිළධරයෙක්. එතුමට කොලේ පෙන්නන්න හදන කොටම කිව්වා අයියෝ ඔයා ඕක පුරුදු වෙන්න කරන වැඩක්ද? ඔබතුමියට වරදින්න හේතුවක් නැහැනේ කියල. මමත් ඉතින් යන්තම් 12 වෙන්න පෙර භාර දුන්න. පස්සේ විරෝධතා දැක්වීමේ අවස්ථාව ආව. ඒ වෙලාවේ එතන හිටපු මෙවරත් තරඟ කරන හිටපු නගර සභා සභාපතිනියක් මට කොලයක් අතට දුන්නා. දීල මට කිව්වා අක්කේ මෙතන තියෙනවා විරෝධතා දැක්වීමේ කොලයක්. ඔයා ඔයා නාම යෝජනා ටික බලල අවුල් තියෙන ඒවා වාර්තා කරන්න කියල. මම කිව්වා අනේ මට අම්ම – තාත්තා මට උගන්නල තියෙන්නේ අනුන්ගේ වැරදි හොයන්න නෙවෙයි ඒ නිසා මටනම් විරෝධතා දක්වන්න ඕනෑකමක් නැහැ කියල. මම එහෙම කිව්වම මගේ දිහා බලාගෙන හිටපු එයා කිව්වා අනේ අක්කේ ඔයානම් ලස්සනට මේක පුරවලා තියෙනවා කියල. ඊට පස්සේ 4.30 වෙනකන්ම අපි එතන හිටිය. ඔන්න ඒ වෙලාවේ තමයි කොමිසමේ නිළධරයෙක් කිව්වේ අපේ නොමිනේෂන් රිජෙක්ට් වුනා කියල. ලිඛිතව ඉල්ලගන්න බැලුව. ඒත් ඒ ගොල්ලන් මොනවත්ම ලිඛිතව දුන්නේ නැහැ. පස්සේ තමයි මම දැනගත්තේ මගේ නොමිනේෂන් එක අවුල් කියල පැමිණිලි කරලා තියෙන්නෙත් මගේ එක හොඳයි කීව, අර මගේ ළඟට වෙලා අපේ සභාවටම අනෙක් පැත්තෙන් තරඟ කරන්න හිටපු නෝනා කියල”.
නාම යෝජනා පත්‍රයක් සකස් කිරීමේදී එය ප්‍රතික්ෂේප වියහැකි මාරාන්තික වැරදි අතර ඇති කරුණු ලෙස බලය නොමැති තැනැත්තෙකු විසින් භාර දීම, අපේක්‍ෂකයන් අඩුවෙන් හෝ වැඩියෙන් ඇතුළත් කිරීම, ඇප තැන්පත් නොකිරීම, පක්‍ෂ ලේකම්/ ස්වාධීන කණ්ඩායම් නායකයා අස්සන් නොකිරීම, ඔවුන් දෙදෙනාගේ අස්සන් සමාදාන විනිශ්චයකරුවෙක් හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් සහතික නොකිරීම, නියමිත තරුණ හෝ කාන්තා අපේක්‍ෂකයන් ඇතුළත් නොකිරීම, අපේක්‍ෂකයෙකු විසින් නාම යෝජනා පත්‍රයේ අස්සන් නොකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛනයට අදාළ දිව්රුම හෝ ප්‍රතිඥාව ලබා නොදීම ආදිය දැක්විය හැකිය.
මෙවැනි කරුණු වුව නිසි පරිදි ඇතුළත් නොකිරීම නිසා කුණු කූඩයට වැටුණු නාම යෝජනා සෑම මැතිවරණයක් /ජන්ද විමසීමක් පාසා හමුවීම ස්වභාවිකය. එවැනි අවස්ථාවලදී රට්ටුන් සුලභව පවසන කතාවක් ද ඇත්තේය. එනම් ‘ඕකවත් පුරවගන්න දන්නේ නැතිව, රටක් පාලනය කරන්නේ කෙලෙසද’ යන්නයි. කෙසේ වෙතත් නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප වීම පිටුපස ඇති පසුබිම් කතාව සංක්‍ෂිප්තව දක්වන්නේ නම් මෙලෙස කරුණු එකිනෙක බෙදා දැක්විය හැකිය.
අදාළ මැතිවරණ නීතිය පිළිබඳව දේශපාලන පක්‍ෂ උනන්දුවක් නොදැක්වීම (මෙම සෑම දේශපාලන පක්‍ෂයක් හා සමඟ නීතිඥවරුන් ආදීන් සම්බන්ධව සිටී. එහෙත් ඉන් බහුතරය පක්‍ෂයේ එළියෙන් තම ගමන් මඟ ආලෝක කරගන්නවා විනා තම ප්‍රාදේශීය මට්ටමේ සංවිධායකවරුන් හා සහායක සාමාජිකයන් දැනුම්වත් කිරීමේ ස්වේච්ජා සේවයක් කිසිදා ඉටුකරන්නේ නැත)
බොහෝ දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් තම පාක්‍ෂිකයන් සමස්තයම ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වීම (මැතිවරණ කොමිෂන් සභාවේ හමුවීම් වලින් හා දැන්වීම් වලින් කියන දේ නිසිලෙස පහළට සන්නිවේදනය කරන පක්‍ෂ ලේකම්වරුන් අදවන විට ඉතා දුලබය).
දේශපාලනය කෙරෙහි ආශක්ත තරුණ සාමාජිකයන් සොයා ගැනීමේ අපහසුව තුළ නාම යෝජනා පත්‍ර අවසන් මොහොතේදී සෑදීමට සිදුවීම (තරුණ කෝටාව ඉල්ලා වැළපුණු අපගේ හිතාදර තරුණ ක්‍රියාකාරීන් පිළිගත යුතු නග්න යථාර්තය නම් තවමත් ශ්‍රී ලාංකේය තරුණයාගෙන් බහුතරය අදේශපාලනික බවයි).
තමන් අභිමත දේශපාලන පක්‍ෂයෙන් නාම යෝජනා නොලැබෙන ඇත්තෝ අවසන් මොහොතේ වෙනත් ලැයිස්තු වලට පැන ගැනීමට උත්සහ කිරීම නිසා පක්‍ෂ -අපේක්‍ෂක යන දෙපාර්ශවය තුළම හදිසියේ ඇතිවන උද්වේගය හා ආවේගය
මැතිවරණ කොමිෂන් සභාව තම නෛතික වගකීම් හා බැඳීම් නිසිලෙස ඉටුකලද එකී ක්‍රියාමාර්ග ඊට සමාන උද්වේගයකින් හා අර්ථවත් සේ සන්නිවේදනය නොකිරීම (තරුණ නියෝජනය සනාථ කිරීම සඳහා අවැසි ලේඛන මොනවාදැයි යන්න සඳහන් නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව යොමුකොට තිබුනේ මාර්තු මස 16 වැනි දින වන අතර නාම යෝජනා භාරගැනීම ඇරඹුනේ ඊට පසුදිනයි). නාම යෝජනා කැඳවීමට ආසන්න සමයේ සියලු තරඟ කරන පක්‍ෂ ලේකම්වරුන් සමඟ පුළුල් හමුවක් පවත්වා කරුණු පරිසමාප්තව පැහැදිළි කල බවක් මෙවර අසන්නට නොලැබුණි. එය ඇත්තක් නම් තරුණ කෝටාවට අදාළව භාර ගන්නේ කුමන උප්පැන්නයක්ද යන්න නිදසුන් සහිතව පෙන්වා දැඩි සිත් ඇති පක්‍ෂ ලේකම්වරුන්ගේ සිත්සතන් මෘදු කිරීමට හැකියාවක් ද පැවතිණි).
මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන නාම යෝජනා ක්‍රියාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීම – බොහෝ විට එය දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් පමණක් තම අවධානය යොමුකල යුතු ක්ෂෙත්‍රයක් ලෙස නාම යෝජනා ලබාදීම හඳුනා ගෙන තිබීම මීට හේතු විය හැකි ආසන්න කරුණ විය හැකිය (මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන දෙකක් පමණක් නාම යෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට හේතුවන කරුණු මොනවාද යන්න පිළිබඳව යම් අදහස් මාලාවක් ජනගත කර තිබුණි)
මෙලෙස හඳුනාගෙන ඇති කරුණු වලට අමතරව තවත් බොහෝ කරුණු මෙම ප්‍රතික්‍ෂේප වීම් පසුපස අඳුරු සෙවනැළි සේ ක්‍රියාකරන බව සඳහන් කල යුතුමය. ඒ කෙසේවෙතත් මෙවර වැඩි අවධානයක් යොමු වූයේ තරුණ නියෝජනය හෙවත් අලුත් කෝටාවට අදාළ නාම යෝජනා කෙරෙහිය. අවසන එයම නාම යෝජනා ප්‍රතික්‍ෂේප කිරීමටද හේතුවීම අවාසනාවන්ත සිදුවීමකි.
වසර 1991 පැවති දීප ව්‍යාප්ත පළාත් පාලන ජන්ද විමසීමේ සිටම තරුණ කෝටාවට අදාළ කරුණ සාකච්ජාවට බඳුන් විය. එහිදී තරුණයා ලෙස සලකන ලද්දේ අදාළ ජන්ද විමසීම් නාම යෝජනාවේ අවසන් දිනය වනවිට වයස 35 නොඉක්මවන තැනැත්තන්ය. එය සනාත කිරීමට ඉදිරිපත් කල යුතු ලේඛනය වූයේ උප්පැන්න සහතිකයයි. ජාතික හැඳුනුම්පත හෝ වෙනත් ලේඛනයක් ඊට අදාළ කරගෙන නැත. එයද හැමවිටම සහතික කරන ලද පිටපතක් වූ අතර යමෙක් ඉපදෙන අවස්ථාවේදී අදාළ රජයේ රෝහල මඟින් ලබාදෙන උප්පැන්න සහතිකය පවා පිළිගෙන නැත.
එබැවින් සාමාන්‍යයෙන් පළාත් පාලන ජන්ද විමසීමේ මූලික නීතිය වන පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය) එකී කරුණ අර්ථ ගන්වා ඇත්තේ මෙලෙසය.
”නාම යෝජනා පත්‍රයේ නම දැක්වෙන සෑම තරුණයෙකුගේම උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් හෝ තම උපන්දිනය සහතික කරමින් ඒ තරුණයා විසින් අත්සන් කරන ලද දිව්රුම් පත්‍රයක් ඒ නාම යෝජනා පත්‍රයට අමුණා තිබිය යුතුය”- 28 (4අ)
එයම නාම යෝජනා භාර ගැනීම ආසන්නයේදී මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කල මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන්නේ මෙලෙසය.
”තරුණ අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා පත්‍රයේ සඳහන් කර ඇති අපේක්ෂකයෙකුගේ උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක් , උපන් දිනය සනාත කරන දිව්රුම් ප්‍රකාශයක් යන දෙකෙන් එකක් ඉදිරිපත් නොකිරීම හෝ අඩුපාඩු සහිතව ඉදිරිපත් කිරීම”
මේ අනුව පැහැදිලි වන්නේ මැතිවරණ කොමිෂන් සභාවද අදාළ කරුණ නිවැරදිව වරනඟා ගෙන ඇති බවයි. අවාසනාවට ශ්‍රී ලංකාවේ කවුරුන් කාට සමාවක් දුන්නද දේශපාලන පක්‍ෂ මඟින් සිදුවන අත්වැරදීම් හෝ ඔවුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම් කෙරෙහි අනුකම්පා සහගතව සංවේදී මනසින් ඔවුන් දෙස බලන ජනතාවක් ලංකාවේ නොමැති බව පෙනී යයි.එබැවින් මෙම ප්‍රතික්‍ෂේප වීමේ සමස්ත වන්දිය දරා ගැනීමට සිදුවන්නේ ඔවුන්ටම. එහි ස්රිජු වින්දිතයන් බවට පත්ව ඇති පිරිස අතර සැබවින්ම තරඟයේ ඉදිරියෙන් යා හැකි ගැහැණු පිරිමි මෙන්ම වියපත් දේශපාලකයෝද සිටිති. මීට අදාළ කුමන දුක්ගැනවිල්ලක් පැමිණියද ඊට ලැබෙන සරල උත්තරය ”එහෙනම් නඩු පලයල්ලා” යන්නයි.
වසර 2018 පැවති පළාත් පාලන ජන්ද විමසීමේදී එලෙස නාම යෝජනා ප්‍රතික්ෂේප වීම වෙනුවෙන් ඉදිරිපත් වූ පෙත්සම් සංඛ්‍යාව 44කි. ඉන් සඵල වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රීය එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කල පෙත්සම පමණි. එබැවින් අදට ද එහි ජන්දය විමසන්නේ අනෙක් සභාවලට වඩා වසරක කාලයක වෙනසක් සහිතවය. එහෙත් එලෙස නඩු දැමූ ඇත්තන්ට නම් කිසිදු සභික ධූරයක් ඇල්පිටියෙන් එවර නොලැබුණි.
මෙමඟින් පැහැදිළි වන්නේ හැමදාමත් එකම ආකාරයට නාම යෝජනා පිළිගැනීම මහා කඩදාසි හරඹයක් සේ නොගෙන එය වත්මන් ඩිජිටල් යුගයට ගැලපෙන සේ හුහුරු ක්‍රියාවලියක් බවට පත්විය යුතු බවයි. මෙලෙස ප්‍රතික්‍ෂේප වූ නාමයෝජනා පත්‍ර හිමි දේශපාලන පක්‍ෂ වර්තමාන පාර්ලිමේන්තුවේ ද සිටින බැවින් අදාළ කාර්යය සඳහා ඔවුන් පෙරමුණ ගත යුතුමය. නොඑසේනම් මෙලෙස වලට වැටීම ඔවුන්ගේ මොළයට ලාභයක් නොවනු ඇත්තේය.
