පළාත් සභා ඡන්දය තියන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ – කුසල් පෙරේරා මැතිවරණ කොමිසමට ලියයි

දිගු කලක් ප්‍රමාද කෙරුණු පළාත් සභා මැතිවරණය බොහෝ විට මේ වසර අග හෝ ලබන වසර ආරම්භයේ පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කළ ද ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රවීන දේශපාලන විචාරකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත ලිපියක් යොමු කරනු ලැබ ඇත.

හෙතෙම එම ලිපියෙන් අවධාරණය කරන්නේ පසුගිය මැයි 20 වන දින “ද මෝනිං” පුවත් පතෙහි පළ වී තිබූ, මැතිවරණ කොමිසම විසින් කරන ලද “ආණ්ඩුව ඒ සම්න්ධව තවම මැතිවරණ කොමිසම විමසා නැත” මැයෙන් වූ ප්‍රවෘත්තිය යි.

 

කුසල් පෙරේරාගේ ලිපියට අනුව එබඳ ප්‍රකාශයක් නිකුත් කිරීමේ නෛතික බලයක් මැතිවරණ කොමිසමට නොමැත. එබැවින් කුසල් පෙරේරා මැතිවරණ කොමිසම වෙත අවධාරණය කරන්නේ කිසිදු රාජ්‍ය අධිකාරයකින්, ආයතනයකින් හෝ දේශපාලන පක්ෂයකින් අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එමෙන් ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට හැකි පහසු ඉක්මන් දිනයක් තීන්දු කරන මෙන් ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

 

මතු දැක්වෙන්නේ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙ යවනු ලැබ ඇති සම්පූර්ණ ලිපිය යි.

2025 මැයි 21 වන දින

ආර්. එම්. ඒ. එල් රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
මැතිවරණ ලේකම් කාර්යාලය
තැ. පෙ. අංක 02
සරණ මාවත
රාජගිරිය

chairman@elections.gov.lk

සභාපති තුමනි,

දිගු කාලයක් ප්‍රමාද කෙරුණු සහ මැතිවරණ කොමිසම මග හරින පළාත් සභා නීතිය සම්බන්ධයෙනි

දිගු කලක් ප්‍රමාද කෙරුණු පළාත් සභා මැතිවරණය බොහෝ විට මේ වසර අග හෝ ලබන වසර ආරම්භයේ පැවැත්වීමට ආණ්ඩුව කල්පනා කරන බැවින්, “ආණ්ඩුව ඒ සම්න්ධව තවම මැතිවරණ කොමිසම විමසා නැත” මැයෙන් වූ ප්‍රවෘත්තියක් පසුගිය මැයි 20 වන දින “ද මෝනිං” පුවත් පතෙහි මම කියවූයෙමි.

එම ප්‍රවෘත්ති වාර්තාවෙහි, “පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම්, එක්කෝ සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කළ යුතුයි. නැතිනම්, පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට පවතින නීතිය සංශෝධනය කළ යුතුයි. මෙයින් එකක් සිදු කළ යුතුයි” යනුවෙන් ඔබ පැවසූ බැව් සඳහන්ව තිබිණ.

 

මෙය කිව යුතු ය. මෙය පැරණි, අවලංගු වූ තර්කයකි. ඔබට පෙර මැතිවරණ කොමිසමේ සභාපති වූ මහින්ද දේශප්‍රිය ද ආණ්ඩුවේ දේශපාලනය සමග ගැට ගැසෙන්නට එය යොදා ගත්තකි. මීට සය වසරකට පෙර 2019 අප්‍රේල් 19 වන දින මා “ඩේලි මිරර්” පුවත් පතට ලියූ “අප රැගෙන යන්නට ලොල් දේශපාලන අවුල” මැයෙන් වූ ලිපියෙහි මේ හොර ගල් ඇහිලීම ගැන මම මෙසේ ලීවෙමි. “නව නීති සම්පාදනයට මැදිහත්වීමේ වගකීමක් මැතිවරණ කොමිසමට හෝ එහි සභාපතිට නැත. ඔවුන්ගේ වගකීම වන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම ය. මැතිවරණ කොමිසම නොකරන්නේද එයම ය. ඒ වෙනුවට ඔවුන්ගෙන් කෙරෙන්නේ මේ රටේ තවමත් වලංගු නීතිය වන 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත උල්ලංඝණය කිරීම ය.”

 

සභාපති තුමනි, මෙය අදටත් සත්‍ය වන අතර අදටත් වලංගු ය. “ද මෝනිං” පුවත් පතේ ප්‍රවෘත්තියෙන් ඉහතින් උපුටා දැක්වුනු ඔබගේ තර්කය, පවතින නීතියෙහි වලංගුභාවය සම්බන්ධ විකෘතියකි. ඔබට අනුව, 2018 නොවැම්බර දක්වා බලාත්මක වූ සීමා නිර්ණ කොමිසම මගින් තීන්දු කළ නව සීමා නිර්ණ මත පවතින නීති සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව මගින් අරඹා ඇති හෙයින්, මැතිවරණ පැවැත්වීමට දැන් නීතියක් නැත. ඒ අනුව ඔබ කියන්නේ, එක්කෝ සීමා නිර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. නැතිනම් පවතින නීතිය සංශෝධනය කළ යුතු යැයි කියා ය.

කවුරුත් දන්නා කාරණාව නම්, පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් කරමින් සම්මත වූ පනතකට කතානායක සිය අත්සන තබන තෙක් එය බලාත්මක නොවන හෙයින්, එතෙක් පවතින නීතය බලාත්මකව පවතින්නේ ය. එයට මූලික සරල හේතුව නම්, සමාජයක නෛතික හිඩැසක් රික්තයක් පැවතිය නොහැකි වීමය. මේ කාරණයේ දී ඔබ දක්වන අදහස අනුව, 2017 සැප්තැම්බරයේ සිට ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ නීතියක් තිබී නැත. එවගේම කවදා හෝ දවසක සීමා නිර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නැතිනම් පවතින නීතිය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීන්දු කරන තෙක් පළාත් සභා සඳහා මැතිවරණ නීතියක් නොතිබෙනු ඇත.

ඔබ කියන අයුරු, කවදා හෝ සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කිරීමට හෝ පවතින නීතිය සංශෝධනය කරන්නට ආණ්ඩුව තීන්දු කරන තෙක්, පළාත් සභා මැතිවරණ අත්හිටුවා තැබීම ඔබගේ වගකීම නොවේ. ඔබගේ වගකීම වන්නේ “ස්වාධීන” කොමිසමක් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ලෙස ඔබව නඩත්තු කරන මේ රටේ බදු ගෙවන්නන්ගේ ස්වෛරී අයිතිය බොල් තර්ක මත සහ දේශපාලන අවශ්‍යතා මත උල්ලංඝණය නොවන ලෙස ආරක්ෂා කිරීම ය.

ඒ අනුව මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, කිසිදු රාජ්‍ය අධිකාරයකින්, ආයතනයකින් හෝ දේශපාලන පක්ෂයකින් අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට හැකි පහසු ඉක්මන් දිනයක් තීන්දු කරන මෙන් ය.

ස්තුතියි.
මෙයට විශ්වාසී,

| කුසල් පෙරේරා
kusal.perera@gmail.com

Leave A Comment