
පළාත් සභා මැතිවරණය තව දුරටත් පමා නොකල යුතුය – NMSJ
- Sujeewa Senerath
- July 15, 2025
- දේශපාලන, පුවත්
- nmsj, provincial council
- 0 Comments
රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පාර්ශ්වයන්හි අවධානය මේ පිළිබඳව නොපමාවම යොමු කල යුතුව ඇත. එහිදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරය ඉතාමත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ පළාත් සභා සක්‍රීය කිරීම සඳහා නොපමාවම පියවර ගන්නා ලෙසට ය.
පළාත් සභා මැතිවරණයක් අවසාන වශයෙන් පවත්වා ඇත්තේ 2014 වසරේදී ය. ඒ අනුව 2018 වසරේ සිට මේ දක්වා රටේ කිසිදු පළාත් සභාවක ජනතා නියෝජනයක් සිදුවන්නේ නැත. මේ වන විට ඒවා ජනාධිපතිවරයා විසින් පත්කරන ආණ්ඩුකාරවරුන් යටතේ සිදුවන නිළධාරී පාලනයකට සීමා වී තිබේ. මෙය පැහැදිළි ලෙසම ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයකි.
වත්මන් රජය බලයට පත්වීමට පෙර මහජනතාව හමුවේ තබන ලද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව ද ඉදිරි මාස හතර ඉක්මවීමට පෙර සියළුම පළාත් සභාවන්හි මැතිවරණ පවත්වා අවසන් කල යුතුව තිබේ. එහෙත් එය යථාර්තයක් කරගැනීමට නම් ඒ සඳහා බාධාවක්ව පවතින කරුණු කෙරෙහි රජය මේ වන විටත් අවධානය යොමුකල යුතුව තිබේ.
එමෙන්ම මේ රටේ ජාතික ප්‍රශ්නයට විසදුම් ඉල්ලා සිටින ජනතාවගේ අභිලාෂයන් සැලකීමේදී මෙම තත්ත්වය ඉතාමත් අහිතකර වන බව ද අප තේරුම් ගත යුතුව තිබේ.
මෙම සියළු කරුණු සැලකීමේදී ඇතැම් පාර්ශ්වයන් පෙන්වා දෙන පළාත් සභා ක්‍රමයේ දක්නට ලැබෙන ගැටළු කෙරෙහි ද අවධානයක් යොමුකිරීම ද ඉතා වැදගත් ය. ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් තිදෙනෙක්ම මේ වන විටත් පාර්ලිමේන්තුවට වෙන් වෙන්ව යෝජනා ඉදිරිපත් කර ඇති බව අමතක නොකල යුතු ය. එමෙන්ම අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ඒ සඳහා විශේෂ කොමිෂන් සභාවක් පවත්වා නිර්දේශ ලබාගත හැකිය. එහෙත් එ් කිසිම කාරණයක් පැවැත්විය යුතුව ඇති මැතිවරණ කල් දැමීමට හේතුවක් නොකර ගත යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.