ප්‍රවීණ නර්තනාචාර්ය පීටර් සූරසේන දිවි රඟ මඬලෙන් බැස යයි – ජනාධිපති සම්මාන 35 වතාවක් දිනලා

මහනුවර දළදා පෙරහර වර්ණවත් කළ නැටුම් ශිල්පියා

අඩසියවසකට වැඩි කාලයක් වෙස් නැටුම් ශිල්පියකු ලෙස මහනුවර ඇසළ පෙරහර වර්ණවත් කරන්න දායකත්වය ලබාදුන් ප්‍රවීණ නර්තනාචාර්ය පීටර් සූරසේන මහතා ඊයේ (25) අභාවප්‍රාප්ත විය.

උඩරට නර්තනයේ මුලකුරු අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගෙන් උගෙන නිත්තවෙල ගුණයා, නිත්තවෙල උක්කුවා හා තිත්තපජ්ජල සුරඹා යන ගුරුන්නාන්සේලා යටතේ නර්තන ශාස්ත්‍රය ඔපමට්ටම් කර ගත් ඒ මහතා මියයන විට 85 වැනි වියේ පසුවිය.

මහනුවර ඇසළ පෙරහරට එක්ව දශක හතකට වැඩි කාලයක් සිය කුසලතා පෙන් වූ ඒ මහතා ඉන් අඩ සියවසක්ම වෙස් නර්තන ශිල්පියකු ලෙස පෙරහරට සම්බන්ධවීම විශේෂත්වයකි.

ඉංග්‍රීසි පාලන සමයේ සෝල්බරි සාමිවරයා ඉදිරියේදී නවවැනිවියේදී උඩැක්කිය වාදනය කරමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් ඒ මහතා පසුකාලීනව මෙරට ප්‍රථම රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ද සාමාජිකයකු ලෙස විදේශ සංචාර ගණනාවකට සහභාගි වී තිබේ.

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, සුනේතා බණ්ඩාරනායක හා සිසිලියා කොතලාවලටත් උඩරට නර්තනය ශාස්ත්‍රය කියාදුන් සූරසේන මහතා නර්තනාචාර්වරයකු ලෙස 1966 සිට 1993 දක්වා කටයුතු කළේය. සුරඹා ගුරුන්නාන්සේට ශ්‍රී දළදා මාලිගාවේ හිමිව තිබූ උඩැක්කි පංගුවේ නර්තන ශිල්පියකු ලෙස කටයුතු කර පසුව කතරගම, විෂ්ණු හා පත්තිනි දේවාලයන්හි පෙරහරට ද සම්බන්ධ වී තිබේ. පසුව ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ලෙස දළදා පෙරහරේ දියඩවන නිලමේ ඉදිරිපිට දකුණු පස වෙස් නැටුම් කණ්ඩායමට නායකත්වය දුන් සූරසේන මහතා විශිෂ්ට හා අතිවිශිෂ්ට වෙස් නැටුම් ශිල්පියාට හිමි ජනාධිපති සම්මානය 35 වතාවක් දිනා ඇත.

සූරසේන මහතාගේ මඟ යමින් මේ වන විට ඒ මහතාගේ පුතුන් වන සුසන්ත සූරසේන හා ජානක සූරසේන උඩරට නැටුම් කලාව මතුපරපුර වෙත රැකදීම පිණිස සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටිති.

සූරසේන මහතාගේ දේහය අරුප්පොල පිහිටි සේසත සූරසේන කලායතනයේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු අද (26) මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

අසේල කුරුළුවංශ

Leave A Comment