ප්‍රවීන රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ් මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. මිය යන විට වසන්ත විට්ටච්චි මහතා 65වැනි වියෙහි පසුවිය.

මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙකි.

විට්ටච්චි පාසල් අධ්‍යාපනය අවසන් කළ 1975 වසර වන විට, සෝවියට් සංස්කෘතික මන්දිරයේ රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබුණි. එහිදී හමුවූ මිතුරෙකු වන නිමල් පතිරණ විසින් “රත්තෝ…” නමැති නාට්‍යයක රඟපෑමට ආරාධනා කිරීමත් සමඟ ඔහුගේ කලා දිවියේ ආරම්භය සනිටුහන් විය.

ඉන්පසුව, ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවට ඇතුළත් වීමට වාසනාව ලැබුණු ඔහුට, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, බන්දුල ජයවර්ධන, සුනන්ද මහේන්ද්‍ර වැනි ප්‍රවීණයන්ගෙන් දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා විය. මෙයට අමතරව, ආචාර්ය සාලමන් ෆොන්සේකා ඇතුළු විදේශීය ගුරුවරුන් වන ෆ‍්‍රෑන්ක් යුන්ගමන්, ෆෙඞ්රික් ඩොෆ්, වුල්ෆ් ඔෆ් මෙහෙරින් සහ හෙරිනා ලෙච්චිමති් වැනි අයගේ මඟ පෙන්වීම ද ඔහුට ලැබුණි. 1983 දී පැවති පින්ලන්තයේ ආසියාතික තරුණ නාට්‍ය කරුවන්ගේ සම්මේලනයට සහභාගි වීමේ භාග්‍ය ද ඔහුට හිමි විය.

වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියෙකු ලෙස කේෂත්‍රයට පිවිසීම ද අහඹු සිදුවීමක් විය. ඔහුගේ මිතුරෙකු වූ රංජිත් වික‍්‍රමසිංහ ශේෂා පලිහක්කාර යටතේ අංග රචනා ශිල්පියෙකු ලෙස කටයුතු කළ අතර, ක‍්‍රිස්ටි ශෙල්ටන් ප‍්‍රනාන්දුගේ “පැනි හටන සමග ගොන් දෙන්නෙක්” නාට්‍යයේදී රංජිත් විසින් ඔහුට අංග රචනා සහායකයෙකු ලෙස වැඩ කිරීමට ආරාධනා කරන ලදී.

පසුව, රංජිත් මාර්ගයෙන් ශේෂා පලිහක්කාරගේ සහායකයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු ඔහු, “ආදර කතාව” චිත්‍රපටයේ අංග රචනා වැඩකටයුතු සඳහා සම්බන්ධ විය.

පරාක‍්‍රම නිරිඇල්ලගේ “කඩ ඉම” ඔහුගේ මුල්ම ටෙලි රංගනයයි. රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ ප්‍රචලිත වූ “බුමුතුරුණු” “තාරාදේවී” මෙන්ම පසුකාලීනව වෙදහාමිනේ, දඩුබස්නාමානය වැනි ටෙලි නාටක වල කැපී පෙනෙන රඟපෑමක නිරතවිය.

දීර්ඝ කලා දිවියේදී සම්මාන 50කට අධික සංඛ්‍යාවක් දිනා ඇති විට්ටච්චි, විශ්ව කීර්ති වැනි ගෞරව නාම ද ලබා ඇත. විශේෂයෙන්ම, වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන අංශ තුනටම සම්මාන ලැබූ එකම අංග රචනා ශිල්පියා ඔහුවේ.

 

Leave A Comment