
පාප් ලියෝ ඉතිහාසයේ ලියැවෙයි
- CNL Reporter
- May 11, 2025
- පුවත්
- පාප් ලියෝ
- 0 Comments
අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වහන්සේ ලෙස 14 වැනි ලියෝ පාප් වහන්සේ ඉතිහාස ගතවෙති.
දෙදිනක් පැවැති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්තුමා අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී බ්‍රහස්පතින්දා පස්වරුවේ තේරී පත්විය. 69 වැනි වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267 වැනි පාප් වහන්සේය. ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14 වැනි ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබූහ.
88 හැවිරිදි වියේ පසු වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21 වැනිදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූහ.
වර්තමානයේ කාදිනල්වරුන්ගේ සංසදය කාදිනල්වරුන් 252 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන්ගෙන් 135 දෙනෙකු වයස අවුරුදු 80ට අඩු බැවින් නව පාප් වහන්සේ සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබිණි. කතෝලික පල්ලියේ ඉතිහාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වයසේ සිටින විශාලතම කාදිනල්වරුන් පිරිසක් සිටි අවස්ථාව මෙය විය. කාදිනල්වරු කතෝලික පල්ලියේ පූජක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝය.
ලොව පුරා සිටින කාදිනල්වරුන් මීළඟ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වතිකානු නගරයේ මහල් පහකින් විවේකාගාරයක් වන කාසා සන්තා මාර්තාහි හුදකලා කර තිබිණි.
අමෙරිකාවේ චිකාගෝ නගරයේ උපත ලැබූ රොබට් ප්‍රෙවොස්ට් ප්‍රතිසංස්කරණවාදියකු ලෙස සැලකෙන අතර පේරුහි අගරදගුරු පදවිය ද හොබවා තිබේ. නව පාප් වහන්සේ ශාන්ත පීතර බැසිලිකාවේ වම්පස බැල්කනියට පැමිණ රැස්ව සිටි 40,000කට අධික ජනතාවට ආචාර කළ අතර අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් උන්වහන්සේ පළමුව ප්‍රකාශ කළේ “ඔබ සැමට සාමය ලැබේවා” යන්නයි. “දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති නිජබිම දෙසට අප සැමට එක්ව ගමන් කළ හැකි” යනුවෙනි.
අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී තේරී පත්වූ 14 වැනි ලියෝ පාප් වහන්සේ වෙත සුබ පැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබා තිබිණි.
එහි දැක්වෙන්නේ, “ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි. ඔබගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ ආශ්වාදය ගෙන එනු ලැබේවා” යනුවෙනි.
චතුර පමුණුව