
පාලන මිලට වැඩියෙන් විකුණන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට නීති පියවර
- CNL Reporter
- February 26, 2025
- දේශපාලන
- පාලන මිලට වැඩියෙන් විකුණන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට නීති පියවර
- 0 Comments
පොලොන්නරුවේ ඇති මහා පරිමාණ එක් සහල් මෝලක් පමණක් තවමත් රජයේ පාලන මිලට වඩා රුපියල් 10ක්, 15ක් සහ 20ක් වැඩියෙන් අත්තනෝමතික ලෙස සහල් විකුණන බවට නිරීක්ෂණය කර ඇති බවත් එම මෝල සම්බන්ධයෙන් ඉදිරියේදී නීති පියවර ගන්නා බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. එම සහල් මෝල පසුගිය සමයේදී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන 15කට වැඩි මුදලක් ණයට ගෙන ඇති බව ද ඇමැතිවරයා අනාවරණය කළේය. එහෙත් රජය මඟින් අධීක්ෂණය කරනු ලබන අනෙක් මහා පරිමාණ සහල් මෝල් දාහතරම රජයේ පාලන මිලට සහල් නිකුත් කළ ද අදාළ සහල් මෝල් හිමිකරු එලෙස කටයුතු නොකරන බව ද හෙතෙම පැවසීය.
එබැවින් වැඩි මිලට සහල් නිකුත් කරන මෙම මෝල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වන විටත් සිදු වන බවත් එම සහල් මෝල මඟින් පෙරේදා (24) සහල් නිකුත් කරන ලද වෙළෙඳසල් 38කින් මිල පිළිබඳ තොරතුරු ගත් බවත් ඇමැතිවරයා පැවසීය. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ 2015 වසරේ සිට මේ දක්වා එක්සත් රාජධානිය, ඉතාලිය, අමෙරිකාව, ජර්මනිය, ජපානය, චීනය, මියන්මාරය, බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු රටවල් 24කින් විවිධ වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් විසිහතර ලක්ෂ හැත්තෑ දෙදහස් හත්සිය හැටදෙකක් ගෙන්වා ඇති බවයි. එමෙන්ම ගතවූ වසරේ (2024) පමණක් සහල් ගෙන්වීම සඳහා මිලියන 24,278ක මුදලක් වැය වී ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
ඇමැති වසන්ත සමරසිංහ මහතා,
”2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය පහත පරිදි වේ. 2015දී මෙට්‍රික් ටොන් 285,000යි, 2016දී මෙට්‍රික් ටොන් 29,000යි, 2017දී මෙට්‍රික් ටොන් 740,800යි, 2018දී මෙට්‍රික් ටොන් 248,900යි, 2019දී මෙට්‍රික් ටොන් 24,172යි, 2020දී මෙට්‍රික් ටොන් 15,770යි, 2021දී මෙට්‍රික් ටොන් 140,091, 2022දී මෙට්‍රික් ටොන් 783,420යි, 2023දී මෙට්‍රික් ටොන් 29,629යි, 2024 ජනවාරි සිට 2025 ජනවාරි දක්වා මෙට්‍රික් ටොන් 176,000යි. මේ සහල් ගෙන්වන ලද රටවල් ගැන අහලා තියෙනවා. රටවල් 24ක් තියෙනවා. පරිභෝජනය සඳහා ආනයනය කළ ප්‍රමාණයන්ට අමතරව ශ්‍රී ලංකා රේගුව තුළ පිහිටා ඇති විදේශීය තානාපති, මහකොමසාරිස් කාර්යාල මඟින් ඔවුන්ගේ රටවල්වලින් සහල් ගෙන්වලා තිබෙනවා. සමහර රෙස්ටූරන්ට් සහ හෝටල් සහල් ගෙන්වලා තියෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා,
ඉදිරියට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද එනවා. ඊයේ දිනයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රජය මඟින් සහල් සඳහා සහතික මිලක් දී තිබුණත් 225ට නැවතත් නාඩු හිඟයක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අදාළ මොල් මුදලාලිලා කියන්නේ සහල් ගෙනල්ල බාන්නම් රු.230ට කියලා. 230 සහල් ගෙනත් බාලා කඩකාරයෝ සහල් කීයට ද විකුණන්නේ? ජනතාවට සහනයක් ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙළක් තියෙනවාද?
ඇමැති වසන්ත සමරසිංහ මහතා,
ඊයේ දවසේ පාරිභෝගික සේවා අධිකාරිය මේ මෝල්වල සහල් නිෂ්පාදනය, සහල් නිකුත් කිරීම යන කාරණා ගැන පරීක්ෂා කරලා තියෙනවා. පොලොන්නරුවේ එක මෝලක් අත්තනෝමතික ලෙස මේ කටයුත්ත සිදු කරමින් තියෙනවා. ඔබ කියනවා වගේ මෝලෙදි රු.215යි කිව්වට, කඩේට ගිහින් රු.230යි කියලා රු.15ක් අතින් දෙන්න ඕනෑ. කීරි සම්බා රුපියල් 255ට තියෙන එක රුපියල් 275ට දෙන්න තමයි ඒ මෝල කටයුතු කරමින් ඉන්නේ. රජයෙන් පසුගිය කාලයේ රු.බිලියන 15ක් ණය අරන් තියෙනවා මේ මෝල බැංකුවලින්, ආණ්ඩුවෙන් ණය දෙන පහසුකම පාවිච්චි කරලා ගන්න වී අද දවසේත් අත්තනෝමතික විදියට පාරිභෝගිකයාට දෙන්න කටයුතු කරනවා. මෝල් 15ක් අපි අධීක්ෂණය කරනවා. මේ මෝල හැර අනෙක් මෝල් සියල්ල පාලන මිලට සහල් දෙනවා. මේ මෝල අදාළව අපි පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. වැටලීම් කරනවා. ඊයේ දවසේත් වැඩි මිලට සහල් විකුණූ කඩ 38ක් වැටලීම් කරලා අත්අඩංගුවට අරන් තියෙනවා. ඉදිරියේදී මේ මෝල ගැනත් විශේෂ තීරණයක් ගන්න රජය කටයුතු කරනවා. වෙළෙඳපොළ සහල් මිල පාලන මිලට ඉහළින් නොයන ආකාරයට අපි මැදිහත් වෙනවා.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න