පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක

පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

තිස්සමාරාමය අපට හැමදාම විශාල ජයග්‍රහණ ගෙනත් දුන්නා. තිස්ස ගැන අපට කිසි සැකයක් නැහැ. දැන් අපි ලංකා දේශපාලනයේ විශාල හැරවුමක් අරගෙන තිබෙනවා.  දීර්ඝ කාලයක් රට පාලනය කළ පැරණි කණ්ඩායම අතින් පොදු ජනතාව නියෝජනය කරන අලුත් කණ්ඩායමකට බලය මාරු වෙලා තිබෙනවා. මේක සාමාන්‍ය තත්වයක් නොවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය වන පළමු හැරවුම ගත්තා. මහ මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ  වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළා. පළාත් පාලන ඡන්දයේදී ඊට වඩා මනාප ලැබෙන බව අපට විශ්වාසයි. මොකද මේ අප ගත්ත හැරවුම  ආපසු හැරවීමට ජනතාව ඉඩ නොදෙන බව අපට විශ්වාසයි. මේක ඉදිරියට ගෙනයාම තමයිි අපේ රටේ ජනතාවට අපට තිබෙන එකම මාර්ගය.

අපි බලය ගන්නා විට අපේ රට ආර්ථික වශයෙන් සුවපත් රාජ්‍යයක් ලෙස තිබුණේ නැහැ. මෙයට අවුරුදු දෙකහමාරකට පෙර අපේ රට විශාල බංකොලොත්භාවයකට පත් වෙලා තිබුණා. දිගු කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ගේ දුර්වලතා හේතු කර ගෙන රටකට විය හැකි විශාලතම ව්‍යසනය අපට ගෙනත් දුන්නා. රටක ආර්ථිකයට ගෙනත් දිය හැකි විශාලම විනාශය වන්නේ ආර්ථික බංකොලොත්භාවයයි. අප ලෝකෙට ණය වී ණය ගෙවන්නේ නැහැ කියා හුදෙකලා වුණු රටක්. තව අවුරුදු සියයකින් ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියවුණත් 2021-2023 ආර්ථික අර්බුදය ගැන ඉතිහාසයේ ලියවෙනවා. ණය ගෙවා ගන්න බැරි වූ රාජ්‍යයක්, තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සොයාගන්න බැරි වූ රාජ්‍යයක්, ඖෂධ ආනයනය කිරීම සඳහා මුදල් සොයාගන්න බැරි වූ රාජ්‍යයක්, ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් හිඟ වූ රාජ්‍යයක්, රටේ ජනතාව පාරට ඇවිත් පාලකයන්ව එළවා දැමූ රාජ්‍යයක්, රටේ පාලකයා  සැඟවිලා ජීවිතය බේරා ගත් කාලයක් බව ඉතිහාසයේ ලියවේවි.

ඒ වගේ රටක් බංකොලොත්භාවයට පත් වූ විට නැවත යථා තත්ත්වයට පත් වෙන්න අවුරුදු දහයක් වගේ කාලයක් ගත වෙනවා. ලෝකයේ බොහෝ රටවල් එවැනි ව්‍යසනයකට පත් වූ විට එවැනි කාලයක් ගත වී තිබෙනවා.  එහෙත් කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන්න අපි සමත් වී තිබෙනවා.

ආයෝජකයන් ලංකාවට පැමිණෙන්න විශ්වාසය අවශ්‍යයි. පහුගිය වසර පහක කාලය තුළ ආයෝජකයන් මේ රටට පැමිණ නැහැ. මේ වන විට ආයෝජකයන් වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය වන හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ අප මේ වන විටත් සාකච්ඡා කරමින් තිබෙනවා. එය දැන් අවසන් අදියරේ තිබෙනවා.  ඉන්දියානු අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් 05 වන දා සාම්පූර්වල විදුලි බලාගාරයකට මුල්ගල තියනවා. ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. සියඹලාආණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.  මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් සඳහා ආයෝජන පැමිණ තිබෙනවා. කෙරවලපිටියේ නව ගබඩා පර්යන්තයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරයේ ආයෝජනයට සුදුසු ඉඩම් හඳුනාගෙන ඉතා නුදුරේම ඒවා ප්‍රසිද්ධියට පත් කරනවා ආයෝජකයන් සඳහා. ක්‍රමානුකූලව ආයෝජකයන් අපේ රට කෙරෙහි අවධානය යොමු කරන්න පටන් අරන් තිබෙනවා.

ආර්ථික අර්බුදයේදී, ආයෝජකයෝ කටුනායක ගුවන්තොටුපල සාදමින් සිටියා.  එය අත්හැර ගියා. කටුනායක ව්‍යාපෘතිය තව මාස දෙකකින් අපි සකස් කර නිම කරනවා.  කඩවත- මීරිගම  අධිවේගී මාර්ගය සාදමින් සිටි ආයෝජකයෝ අතැර ගියා. එහෙත් නැවත එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අප ආරම්භ කරනවා. අත්හැර ගිය ආයෝජන, අත්හැර ගිය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව සමත් වී තිබෙනවා.  ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වී තිබෙනවා. මීට පෙර ඩොලර්වල අගය රාත්‍රියේ නිදියන විට එක අගයක්, උදේ නැගිටින විට තවත් අගයක්. පොලි අනුපාතය එක  ඉලක්කමක තබා ගෙන තිබෙනවා. කොටස් වෙළඳපොළ විශාල වර්ධනයක් ලබා තිබෙනවා. එය ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඥාවක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඩොලර් මිලියන 500කට වඩා ණය මුදලක් අප ගෙවා තිබෙනවා. එහෙත් ඩොලරයේ අගය කිසිදු අගයකින් වෙනස් වුණේ නැහැ. වසර පහකට හයකට වඩා වැඩි කාලයක් වාහන ආනයනය තහනම් කර තිබුණා. ක්‍රමානුකූලව වාහන වෙළඳපොළ විවෘත කර තිබෙනවා. මේ හැමදෙයකින්ම කියන්නේ ආර්ථිකය පිළිබඳ  සුබවාදී සංඥාවක්. පහුගිය මාස හය තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට වත්මන් ආණ්ඩුව හැකි වී තිබෙනවා. ආණ්ඩුව පිළිබඳව අවිශ්වාසයක් ඇති කර ගෙන ඉස්සරහට යන්න බැහැ.

ආර්ථික ස්ථාවරත්වය නිසා අප අත්පත් කරගන්නා ලද ධනය අප නැවත පෙරළා ජනතාවට යෙදවීම සඳහා යොමු කර තිබෙනවා. වසර හතරක් පහක් තිස්සේ රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගෙන නැහැ. අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගන්න අප තීන්දුවක් අරන් තිබෙනවා.  ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. මේ වනවිට 15,700ක් පුරප්පාඩු හඳුනා ගෙන තිබෙනවා. ඉතිරි පුරප්පාඩු  හඳුනා ගැනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරි මහත්වරු නැහැ. පාරක් සාදන්න ගියාම තාක්ෂණික ගැටලු ගොඩක් එනවා. ආර්ථිකය ලබා ගන්නා ස්ථාවරභාවය නැවත ජනතාවට පෙරළා ලැබෙනවා. එම නිසා පස්  වසරක් බඳවා නොගත් රාජ්‍ය සේවයට මේ වසරේ නැවත බඳවා ගැනීම සිදු කරනවා. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප විශාල ලෙස වැඩි කර තිබෙනවා. එම වැඩි කළ කොටස පමණක් ගෙවන්න රුපියල් කෝටි 11,000ක් වෙන් කළා. අපේ වෘත්තියවේදින් රැක ගන්න ඕනේ.  විශ්‍රාමිකයන්ටත් ඒ වගේම වැටුප් වැඩි කිරීමක් සිදු කර තිබෙනවා. වී වගා කිරීම සඳහා ලබා දුන් පොහොර සහනාධාරය අතුරු බෝග වවන ගොවීන්ටත් ලබා දීමට අප කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ලංකාවේ පළමු වතාවට  පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා ගන්න  මුදල් ලබා දුන්නා. ලැබෙන මුදල් ආරක්ෂා කරලා ජනතාව වෙනුවෙන් යොදවන ආණ්ඩුවක්. වකුගඩු රෝගීන්ගේ දීමනා වැඩි කළා. මහපොළ ශිෂ්‍යාධාර දීමනා වැඩි කළා. පාසල් ආහාර වේල සඳහා ලබා දෙන දීමනා වැඩි කළා. ජනතාව බලා ගැනීම සඳහා සියලු දේ මේ ආණ්ඩුව කරමින් තිබෙනවා. අස්වැසුම දීමනා වැඩි කළා, දැනට අස්වැසුම නොලැබෙන ඒත් ආධාර අවශ්‍යයි කියලා සිතන ලක්ෂ හතරක කණ්ඩායමකට ලබන ජූනි මාසයේ සිට දීමනාවක් ලබා දෙනවා. සෑම පාසල් දැරිවියකටම සනීපාරක්ෂක තුවා මාසෙකට අට බැගින් ලබා දෙන්න අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. අප ආධාර ලබා දීමේ වැඩසටහන තවත් ශක්තිමත් කර තිබෙනවා.

| ජනාධිපති අනුර කුමාර දිසානායක
| ජනාධිපති අනුර කුමාර දිසානායක

ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න සැලසුම් සකස් කර තිබෙනවා.  ලංගමය සහ පුද්ගලික බස් සේවාව ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා. බස්වලට යම් ප්‍රමිතියක් ගෙන එනවා. ඒ සඳහා රුපියල් කෝටි 300ක් වෙන් කර නව ප්‍රමිතියකින් යුත් බස් රථ ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා. සුවපහසු බස්රථ සේවයක් ඇතුළු පොදු ප්‍රවාහන සේවයක් සකස් කිරීමට අප කටයුතු කරමින් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 650ක් වෙන් කර තිබෙනවා. උපකරණ ගන්න, ඖෂධ අනයනය කරන්න, ගොඩනැගිලි හදන්න ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. සෑම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් සිටිය යුතුයි. ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් සකස් කරමින් තිබෙනවා. දකින දකින ඉස්පිරිතාලෙට දකින දකින වෛද්‍යවරු ළඟට යන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී ලබා දෙන නිර්දේශයට අනුව ඉදිරි පියවර ගන්න පුළුවන් වැඩපිළිවෙළක් අප සකස් කරනවා.

අධ්‍යාපනය සඳහා 2026 වසරේදී නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. ඒ අනුව නවය වසරේදී විභාගයකට මුහුණ දුන් පසුව  ඒ දරුවාගේ හැකියාවලින් යා හැකි මාර්ගය කියා දෙනවා. සෞඛ්‍යයට අධ්‍යාපනයට, ප්‍රවාහනයට පවුලකින් යොදවන මුදල අඩු කරනවා. එය ආණ්ඩුව බලාගන්නවා. එයින් ඉතිරි වන මුදලින් ජනතාවට වෙන වැඩපිළිවෙළකට යා හැකියි. චිත්‍රපටියක් බලන්න, විනෝද චාරිකාවක් යන්න පුළුවන්.

සිරගත වී සිටින පුද්ගලයන් පිළිබඳව කිසිදු ආණ්ඩුවක් බලා ගත්තේ නැහැ. එම නිසා සිරගත වී සිටින අයගේ වෘත්තිය හැකියාවන් සොයා බලා ඔවුන්ට වෘත්තීය පුහුණු සහතික ලබා දී  රැකියාගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අනාථ නිවාසවල සිටින දරුවන් වෙනුවෙන් මසකට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. එයින් තුන් දාහක් අනිවාර්යෙන්ම ස්ථිර තැන්පතුවක් සඳහා යොදවනවා. විවාහ වන හැම දරුවකුටම රුපියල් ලක්ෂ 10ක් ආණ්ඩුවෙන් ලබා දෙනවා. නිවාස ඉදිකිරීම සඳහා. හැම කෙනාම අත් අරින්නේ නැති ආණ්ඩුවක්. ජනතාව බලා ගෙන සේවාවන් දියුණු කරන ආණ්ඩුවක් බවට අප පත්ව තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකින් පැමිණෙන වසරයි.  සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ගමනාන්ත වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම වසරකම වර්ධනය වන ආර්ථිකයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා. මේ වසරේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයනය කරන වර්ෂය ලෙස අප පත් කරනවා. විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන වැඩිම ඩොලර් ප්‍රමාණය මේ වසරේදී  ලැබෙන බව අපට ස්ථිරයි. වැඩිම රාජ්‍ය ආදායම ලැබෙන වර්ෂයත් 2025 වර්ෂයයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාසෙට ලබා දෙන ඉලක්කයට වඩා ඉලක්ක සපුරා ගනිමින් තිබෙනවා. පුරවැසියන් බදු ගෙවීමට පුරුදු වෙමින් තිබෙනවා. ඒ වගේම බදු ගෙවන පුරවැසියන්ට ස්තුතිවන්ත වෙන ගමන් ඒ ලැබෙන හැම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරනවා. එහෙමයි රටක් හදන්නේ. ශීඝ්‍රගාමී වැඩපිළිවෙළකට අප ඇතුළත් වී තිබෙනවා. පුරවැසියෙකුට වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කර පාලකයෝ හොරකම් කරනවා කියලා කියන්න බැහැ. ඒ නිසා විරුද්ධ දේශපාලන ව්‍යාපාරවල අනාගතයම විනාශ වෙමින් තිබෙනවා.

සවස ප්‍රවෘත්ති බලන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් සිටිනවා. එක වෙලාවකට හිතෙනවා මාධ්‍ය ඉස්සරහ ඔච්චර අඬනවා නම් ගෙදර කොච්චර අඬනවා ඇතිද කියලා. ඒ කියන්නේ ආණ්ඩුව නිවැරදි ගමන යන බව පැහැදිලියි. විරුද්ධවාදින් කිවුවා ආණ්ඩුවට ජාත්‍යන්තර සබඳකම් නැහැ කියලා. එහෙත් අප ආණ්ඩුවක් අරගෙන මාස හයක් ඇතුළත  ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනවා. මහ මැතිවරණය අවසන් වූ වහාම ඉන්දියාවෙන් සහ චීනයෙන් එරට සංචාරයකට ආරාධනා ලැබුණා. ජපානයෙන් සහ වියට්නාමයෙන්ද සංචාරයක් සඳහා අපට මේ වන විටත් ආරාධනා ලැබී තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරමින් තිබෙනවා. රටත් ජනතාවත් උකසට තබා පාවා දෙන්නේ නැතුව කෙලින් ශක්තිමත්ව ජාත්‍යන්තර සබඳතා පවත්වා ගැනීමට අප කටයුතු කර තිබෙනවා. වඩාත් සුබදායි දිශාවකට රට පරිවර්තනය වෙමින් තිබෙනවා. ප්‍රවෘත්තිවලින් හදන විජ්ජාවෙන් අපේ රටේ දේශපාලනය නැවත හරවන්න බැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව,අධිකරණ මේ වන විට  හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වන වන විට ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ්, පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්, තවත් ඇමතිවරයෙක් හැංගිලා, පොලිස්පති හැංගිලා හිටිය. ආවා නේ එළියට. මේ පරීක්ෂණ ටික හොඳටම යනවා. මහාධිකරණයේ දාන නඩුව පරදින්නේ නැති ආකාරයට හොඳින් ගොනු කරලා දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි. කතරගම ගෙදර නඩුව, ගෙදරක් තියෙනවා ලයිට් බිල එන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා. හැබැයි, ඔහු කියනවා ඔහුගේ ගෙදර නෙමෙයි කියලා. ඒ පිළිබඳ පරීක්ෂණ යනවා. සියලු පරීක්ෂණ ඉදිරියටම යනවා. දූෂණය නතර කර තිබෙන්නෙත් දූෂිතයන්ට දඬුවම් දෙන්නෙත් ජාතික ජබලවේගය ආණ්ඩුවක් විතරයි.

රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස්දාහක් ප්‍රාග්ධන මුදල් වශයෙන් වෙන් කර තිබෙනවා ජනතාව වෙනුවෙන් මාර්ග ඉදි කරන්න. වැඩ කරන්න වෙන් කළ මුදල් ඉදිරි මාස අට ඇතුළත  නිවැරදි ව්‍යාපෘතිවලට යොදවා අවසන් කළ යුතුයි. ඉස්සර වැඩ කරන්න මුදල් තිබුණෙ නෑ.  අද මුදල් තිබෙනවා වැඩ කරන්න පිරිස නැහැ. ඒ නිසා රාජ්‍ය සේවයට බඳවා ගන්නත් මුදල් වෙන් කර තිබෙනවා. බාගෙට හදලා තිබෙන අධිවේගී මාර්ග නැවත ඉදිකිරීමට මුදල් වෙන්කර තිබෙනවා. ඉතිරි කරන මුදල්, ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. එම නිසා රාජ්‍ය සේවය කාර්යක්ෂමතාව වැඩි කරමින් ජනතාවට සේවය කළ යුතුයි. වෙන් කළ මුදල්වලට වැඩ කරන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

අන්න ඒ වැඩ කොටස කරන්න ප්‍රාදේශීය සභාවේ දේශපාලන අධිකාරිය අවශ්‍යයි. රටේ වැඩවලට ජනාධිපති සහ පාර්ලිමේන්තුව ඉන්නවා වගේම ගමේ වැඩවලට ප්‍රාදේශීය සභාවේ දේශපාලන අධිකාරිය අවශ්‍යයි. මධ්‍යම  ආණ්ඩුවත් සමඟ එකට වැඩ කරන ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි.  එසේ නොමැති වුවහොත් කරත්තෙකට දෙවර්ගයෙන් බැඳපු ගොන්නු දෙන්නෙක් වගේ වේවි. එකෙක් ගොඩට අදිනවා, අනෙකා මඩට අදිනවා. ගම්මාන මට්ටමින් කළ යුතු වැඩ සිදු කිරීමට ප්‍රාදේශීය සභාවේ නායකත්වය අවශ්‍යයි. ලබන ජුනි මාසයේදී අයවැය යෝජනාව සකස් කරන්න යෝජනා ගන්නවා. ලබන වසරේ අයවැය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එම නිසා ජූනි මාසය වන විට අයවැය යෝජනා සකස් කරන්න ජාතික ජන බලවේගයට ප්‍රාදේශීය සභාවේ බලය ලබා දීමෙන් එය ශක්තිමත් කළ හැකියි. ඔබ ජාතික ජන බලවේගයට ජයග්‍රහණය ලබා දෙන්න කටයුතු කරනවා වගේම අප රට ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරනවා.

Leave A Comment