new-pera-uni-medical-student

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් බඳවා ගැනේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024  කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී  සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී  (physiology lecture theatre) මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි.

මෙම නව සිසු කණ්ඩායමට සිසුන් 237 ඇතුලත් වන අතර වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාලය වසර 5 කි. එය අදියර දෙකක් යටතේ සිදුවේ.

මෙම සිසුන්ට පලමු වසර 2 ක තුළදී (Pre-clinical – Anatomy,Biochemistry,Physiology) මිනිස් සිරැරේ සාමාන්‍ය ව්‍යුහය, ක්‍රියාකාරිත්වය පිලිබඳ අධ්‍යනය කරයි.පලමු වසර තුලදී කායව්‍යවච්ඡේදන දෙපාර්තමේන්තුව යටතේ පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන සිරුරු (dead bodies) අධ්‍යනය( body dissection) මගින් සිසුන් මිනිස් සිරුරේ සියලු කොටස් පිලිබඳ තම දැනුම වැඩි දියුණු කරගනු ලබයි.

එමෙන්ම අවසන් වසර 3 තුළදී (Clinical) Pathology, Pharmacology, Parasitology, Microbiology, Forensic Medicine, Community Medicine, Psychiatry, Anaesthesiology, Paediatrics, Surgery, Obstetrics & Gynaecology, Medicine, රෝග නිර්ණය හා ප්‍රතිකාර පිළිිබද අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ.

සායනික පුහුනුව (Clinical Training) සඳහා මෙම නව වෛද්‍ය සිසුන් මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ගම්පොල ශික්ෂණ රෝහල,  නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල, මාවනැල්ල මූළික රෝහල,  සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වැනි රෝහල් වලට යොමු කෙරේ.

පාඨමාලාව ආරම්භයේදී පුහුණු ගුරුවරුන් විසින් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා මාස 3 ක් වැනි කාලයක් ඉංග්‍රීසි පාඨමාලාවක් දියත් කිරීමටද පියවර ගනු ලබයි.

ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබු ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය සේනක බිබිලේ මහතා මෙහි පලමුවන පීඨාධිපතිතුමා ලෙස කටයුතු කළ බවද කිවේය.

මෙරට තුළ නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් හෙතෙම එය ලෝකයේ සංවර්ධිත රටවල් වල පවතින සෞඛ්‍ය සේවාවට සමාන ම්ට්ටමක පවතින බව කරණු ලබන ජාත්‍යන්තර සමීක්ෂණ වලින් හෙලිවී ඇති බවද  අවධාරණය කලේය.

මැලේරියාව, බරවා, නවජන්ම පිටගැස්ම, පෝලියෝ, මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි රෝග තත්ත්වයන් මෙරටින් තුරන් කිරීමට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් හැකියාව ලැබුණු බවත්, 2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ බවද, කොවිඩ් 19 වසංගතය සමග ලොව පුරා බොහෝ රටවල එන්නත්කරණය අඩාලවීම නිසා ගෝලීයවත්, අප කලාපයේ රටවලත් සරම්ප රෝග තත්ත්වයක් ඇති වූ වබද කීවේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැයි මස සිට ශ්‍රී ලංකාව තුල නැවතත් සරම්ප රෝගීන් වාර්තා වූ අවධාරය කල ලේකම්වරයා  ඒ වෙනුවෙන් වරින් වර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කීහ.

මෙම 4 වනදා සිට 09 වනදා දක්වා විශේෂ සරම්ප/රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද හදුනාගත් දිස්ත්‍රික්ක 12ක එම සතිය තුළදී ගෙන් ගෙට ගොස් ප්‍රජාව දැනුවත් කිරීම සහ 09 වනදා එන්නත් කිරීම සිදුකරන බවද කීවේය. එක් මාත්‍රාවක් පමනක් ලබාගෙන සිටින තරුණ ප්‍රජාවද අමතර මාත්‍රාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයද  හෙතෙම මෙහිදී පෙන්වා දුන් අතර එම සතිය තුළදී වයස 30 අඩු තරුණ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරණ බවද වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් නානයක්කාර, යන මහත්වරුන් මෙන්ම මහාචාර්යවරු, ආචාර්යවරු, මහනුවර, පේරාදෙණිය, ගම්පොල, නාවලපිටිය,මාවනැල්ල,  සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වැනි රෝහල් වල අධ්‍යක්ෂවරු, වෛද්‍යවරුන්, සිසුන්, දෙමව්පියන් මෙන්ම විශාළ පිරිසක් සහභාගී වූහ.

Leave A Comment