පොලීසියට-රජයේ මුද්‍රණාලයට හැකරු පනිති
- 5opn1
- January 1, 2025
- දේශපාලන
- පොලීසියට-රජයේ මුද්‍රණාලයට හැකරු පනිති
- 0 Comments
ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, xගිණුම, යූටියුබ් යන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් සහ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියට ඊයේ (31) හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ යූටියුබ් නාළිකාවට ප්‍රහාරය එල්ල කර ඇති හැකර් කණ්ඩායම මේ වන විට පොලීසිය මඟින් අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා ‘දිනමිණට’ පැවසීය. ශ්‍රී ලංකා පොලීසියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් පිරිස මෙයට පෙර අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මෙන්ම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙබ් අඩවියට ද හැකර් ප්‍රහාරයක් එල්ලකොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ වනවිට හැකර් ප්‍රහාර එල්ල වී ඇති ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, xගිණුම යළිත් පොලීසිය යටතට ගෙන ඇති අතර ශ්‍රී ලංකා පොලීසියේ යූටියුබ් නාළිකාව ද මේ වන විට තමන් යටතට ගැනීමට අවශ්‍ය මෘදුකාංග යෙදුම් සකසමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා ‘දිනමිණට’ ඊයේ (31) සවස ප්‍රකාශ කළේය.
රක්ෂණ ශ්‍රියන්ත, නෙත්මි පූජනී රත්නායක