බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු

ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය. පොදුවේ ගත් කල්හි ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වන මෙම තත්ත්වය වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්ව ඇත. මන්දයත් මේ හරහා සමාජයට එල්ලවන බලපෑම ප්‍රබල බැවිනි. මෙවැනි අඩු වයස් විවාහ නැතහොත් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයක් එක්ව ජීවත්වීමේ සිදුවීම් බහුලව වාර්තා වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලිනි. නාගරික ප්‍රදේශයන්හි එවැනි තත්වයක් බහුලව දැකගත හැක්කේ මුඩුක්කු හා පැල්පත් ආශ්‍රිත ප්‍රදේශයන්හිදී ය.

ළමයා

ළමයා යන්නෙන් වයස අවුරුදු දහ අට සපුරා නොමැති ඕනෑම තැනැත්තකු අදහස් වන අතර ළමා විවාහය යන්නෙන් විවාහයේ පාර්ශ්ව දෙකෙන් කවරෙක් හෝ ළමයකු වීම අදහස් වෙයි. එමෙන්ම අඩු වයස් විවාහකත්වය (Early Marriage) යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයකු නීතිමය වශයෙන් විවාහ වන වයසට පෙර විවාහ වීමයි. මෙය සමාජ සංස්කෘතික විවිධ බලපෑම් මත වෙනස් විය හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ විවාහ වීමේ අවම වයස අවුරුදු දහ අටක් ලෙස 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනත මගින් සම්මත කර තිබේ. එමෙන්ම  2020 සැප්තැම්බර් මස 02 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ විවාහ වීමේ අවම වයස හඳුන්වා දීමේ පනත මගින් ද එය නැවත තහවුරු කර තිබේ. එකී පනතේ පූර්විකාවට අනුව ළමයෙකුගේ හෝ අඩු වයසින් සිදු කරන විවාහය තරුණ තැනැත්තකුගේ අධ්‍යාපනය, සංවර්ධනය හා ආරක්‍ෂාව වෙත ඇති අයිතිය උල්ලංඝනය කිරීමකි. එවැනි තත්ත්වයන් හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ ලිංගික අපයෝජනයන් තුළ  ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයේ ආකාරයන්ට, හිංසාවට සහ අපයෝජනයට, නොතකා හැරීමට හෝ නොසැලකිලිමත් ලෙස සැලකීමට හෝ සූරා කෑමට ලක් කිරීමේ අවදානමට පත් කිරීමට ඉඩ ඇති දුසිරිතක් වන බවද දක්වා තිබේ.

ඒ අනුව මෙරට ළමා ප්‍රජාව පිළිබඳ විශේෂ අවධානයකින් බලන විට ලංකාවේ සිදුවන ළමා විවාහ තුළ දැකගත හැක්කේ ඉතා ගැඹුරු ඛේදනීය තත්ත්වයකි. ඒ තුළ යාන්තමින් ඇඟපත මෝරා වැඩෙන වයසේදීම තුරුණු වියට එළැඹීමටත් පෙර ළමා විය ද අහිමි කරගෙන ඇතැම් දැරියන් මව්වරුන් බවට පත්වේ. ඇතැම් දැරියන් වැන්දඹුවන් බවට පත්වේ. ඇතැම් දැරියන් තනි මව්වරු බවට පත්වේ. ඇතැම් දැරියන් රෝගීන් බවට පත්වේ සහ තවත් දැරියන් ජීවිතය පවා අහිමි කරගනිති.

නිසි අධ්‍යාපනයක් නොලැබීම, අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳ අරමුණක් නොතිබීම, පවුලෙන් ලැබෙන ආදරය ආරක්ෂාව හා සෙනෙහස නොලැබීම, පවුලේ අවධානය අඩුවීම, ස්ථාවර ආර්ථිකයක් නොතිබීම, හෝමෝන බලපෑම, සාම්ප්‍රදායික සමාජ රාමුවට කොටු කිරීමට උත්සාහ කිරීම, නොදැනුවත්කම, අනවබෝධය, අනුකරණය, තාක්ෂණික බලපෑම, නව සමාජ සම්බන්ධතා ගොඩනැගීම වැනි සාධකවල බලපෑම මෙම අඩු වයස් විවාහවලට බලපාන අතර මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු විවිධ සමීක්ෂණ හා ගවේෂණවලින්ද මේ සාධක හෙළි කරයි.

දෙමව්පියන්ගේ ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ බහුල වශයෙන්ම මෙවැනි සිදුවීම් වාර්තා වන පළාතක් ලෙස උතුරු මැද පළාත හඳුනාගත හැකිය.ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්  කැබිතිගොල්ලෑව කොට්ඨාශයේ, කහටගොල්ලෑව තුලානයට අයත් ඉතා පුංචි ගම්මානයක් වන මාවතවැව ගම්මානය තුළ පමණක් මෙවැනි සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේදී සිදුවූ අතර ඒ හා සම්බන්ධ කීප දෙනෙකු සමග සිදු කළ සාකච්ඡාවක් ආශ්‍රයෙන් ලබා ගත් තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සම්පාදිතය.

මාවතවැව යනු පවුල් හැටක් පමණ ජීවත්වන ඉතා කුඩා ගම්මානයකි. 2009 – 2024 කාල පරිච්ඡේදය තුළ වයස අවුරුදු 12 – 18ත් අතර ගැහැණු දරුවන් වෙසෙන පවුල් 18කි. ඉන් පවුල් දහයකම දැරියන් අඩු වයසින් විවාහ දිවියට ඇතුළත් වූ අතර ගැහැණු ළමයින් දොළොස් දෙනකු ඒ අතරය.

මෙහි බොහෝ පිරිසක් ජීවත්වන්නේ ගොවිතැන් කිරීමෙනි. කිහිප දෙනෙක් පමණක් රජයේ සේවකයන් වේ. ඒ අතර හමුදා නිළධාරින් හෝ සිවිල් ආරක්ෂක නිළධාරින්ද වෙති. එවන් පසුබිමක් තුළ මැදි වයසේ කාන්තාවන් කිහිප දෙනෙකු විදේශගත රැකියාවලට යොමු වී ඇත.  ඉන් එක් පවුලක දරුවන් සිව් දෙනකු වන අතර තිදෙනෙකුම ගැහැණු දරුවන් විය. ඒ ගැහැණු දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුටම අත්වූයේ බාල වයසේදීම විවාහ නොවී පවුල් ජීවිත ගත කිරීමට ය. එම පවුලේ මව විදේශගත වන්නේ දරුවන් කුඩා කාලයේදීම ය. පියා භාරයේ දරුවන් තැබුව ද පියා සිවිල් ආරක්ෂක නිලධාරියකු බැවින් ඔහුට නිවසේ රැඳීමට වූ කාලය ඉතා සීමිත විය. එබැවින් දරුවන් නිවසේ බොහෝ කාලයක් ගත කළේ තනිවම ය. මේ අතර එහි වැඩි මහල් දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරන අතර ඒ වන විට ඇයගේ වයස අවුරුදුු 14කි. ඒ වන විට ඇගේ මව ඔවුන් සමඟ සිටින මුත් ඒ සම්බන්ධයෙන්  දෙමාපියන් දැනගත් විට පවා ඔවුන් ක්‍රියා කර ඇත්තේ විවාහයකට කැමැත්ත පළ කරමිනි. ඒ නිසාම දෙමාපියන්ගෙන් කිසිදු බාධාවක් නොතිබූ නිසා එම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත. අවුරුදු 16දි ඇය ගැබිනියක් බවට පත්වන අතර එය ගැබිනියක් වීමට සුදුසු වයස නොවීය. මේ නිසාම ඇයගේ පාසල් ගමන සම්පූර්ණයෙන්ම කඩාකප්පල් විය. සමාජ අවමානයට, ලැජ්ජාවට මුහුණ දීමට සිදුවිය.  වයස අවුරුදු 17දී දරු ප්‍රසූතිය සිදු කරන ඇය මේ වන වයස අවුරුදු හතරක දියණියක් සිටින අවුරුදු 21ක මවකි. මේ ඇයගේ ජීවිතයේ සුන්දරම කාලයයි. නමුත් එය ඒ් අයුරින්ම විදින්නට නොහැක.

මව්වරුන් විදේස් ගතවීම

මේ සම්බන්ධයෙන් ඈ සඳහන් කර සිටියේ, කුඩා කාලයේදීම තම මව ඔවුන්ගෙන් වෙන් වී විදෙස් ගත වූ විට ඔවුන් ගැන සොයා බැලීමට හා ඔවුන්ට ආවැසි අවධානය හා මග පෙන්වීම ලබාදීමට කිසිවකු නොසිටි බවයි. තම පියා ද රාජකාරී කටයුතු සඳහා ගිය විට නිවසේ  තනිව සිටි අතර ඇතැම් අවස්ථාවල නෑදෑ ගෙවල්වල ද හැදි වැඩුණු බවයි. නමුත් එවන් අවස්ථාවලදී තමන්ට අවධානය දෙන අයෙකු මුණගැසුණු විට ඒ වෙත නිරායාසයෙන්ම ඇඳී ගිය බව හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ආරම්භ වී ඇති මෙම සම්බන්ධයේදී පවා දෙමාපියන් සම්බන්ධයට අකමැත්තක් නොදක්වා ඇත්තේ, ඇය විවාහ කර දී ඇගේ වගකීමෙන් නිදහස් වූ විට මවට විදේශගතවීමට ඇති සීමාවෙන්  නිදහස් වීමටය.

නමුත් දෙමාපියන් පවුල්වලින් කතා කරගෙන තිබුණේ ඇයට අවුරුදු 18 වූ විට විවාහ කරදීමටය. නමුත් සිදු වූයේ ඊට පෙර ඇය ගැබිනියක වීමය. මේ බව මවට දැන් වු  විට දරු ගැබ විනාස කිරීමට උත්සාහ ගත් බව පැවසූ ඇය කියා සිටියේ නමුත් එය අසාර්ථක වූ බවය. එම පසුබිම තුළ  ගෙදරින් එළියට හෝ බැස යාමට නොහැකි තරමට ඇය අසරණ වූ බව ද ඇය සඳහන් කරයි. ඒ ඇගේ කතාව වන අතර දරුවා ප්‍රසූත කළ පසු ඇය ස්වාමියාගේ නිවසේ පදිංචියට යන අතර, ඉන්පසු ඇයගේ මව නැවත විදේශගතව තිබේ.

සහෝදරියන්ට වන ඉරණම

ඇයට බාල නැගෙණියක සිටි අතර ඇයටද සිදු වූයේ විවාහයකින් තොරව පුරුෂයකු සමඟ එකට ජීවත් වීමට ය.   ඇය ද වයස අවුරුදු 15දී අවුරුදු 19ක් වයසැති තරුණයකු සමඟ ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ගැහැණියක වී ඇත. ඒ ගැන ඇය වැඩිදුරටත්  කියා සිටියේ, “ගෙදර කවුරුත් හිටියේ නැ, ඉස්කෝලේ රැස්වීමකට පවා යන්න කවුරුත් හිටියේ නෑ, මට අවශ්‍ය දෙයක් කියන්න අම්ම ලඟ හිටියෙත් නෑ. තාත්තට කියන්න බැරි කාරණා තිබුණා. අපි ගැන හොයලා බලන්න තාත්තවත් ගෙදර නෑ. පාසල් ගමන පවා අතරමග නැවතුණා. තනියම ගෙදර ඉද්දි ගමේ මිනිස්සු පවා බැලුවේ වපර ඇහින්. ගෙදර ෆෝන් එක තිබුණා. මේ නිසා මටත් එයාටත් මුණගැහෙන්න කතා කරන්න අවස්ථාව තිබුණා. මේ සම්බන්ධය  ගැන අම්ම දැනගත්තම තාත්තට නොකියා සිටියා. ටික කාලෙකින් තාත්තා දැනගත්තා. තාත්තා මට සැරෙන් තරවටු කළත් මං ගනන් ගත්තේ නෑ. මේ අතර එයයි මමයි දවසක් ගෙදරට හොරෙන්ම ගියා. ඊට පස්සේ අම්මලා ආයේ මාව එක්කන් ආවා. ඊට පස්සේ එයාට ගෙදර එන්න කියලා කතා කළා. වයස හරි ගියාම බන්දලා දෙනවා කිව්වා. මේ අතර අම්මා ආයෙම රට ගියා. මේ කාලේ මම ගෙදර තනියම ඉන්නකොට එයා කැමති වුණේ නෑ. ඒ නිසා අපි තීරණය කළා එකට ජීවත් වෙන්න. ඒ නිසා එයා අපේ ගෙදර ඇවිත් නැවතුනා. දැන් අපි දෙන්නා විවාහ වෙලා ඉන්නේ. දැන් එයාට 23යි. දැන් අපි දෙන්නම කොළඹ එකම තැන රස්සාව කරගෙන ඉන්නවා.”

පවුලේ එකම සහෝදරියන් දෙදෙනකුගේ ඉරණම එසේ වෙද්දී ඒ ගමේම ඒ අවටම තවත් තරුණියක එවන් සිද්ධියකට මුහුණපාන්නේ මීට වසර පහළොවකට පමණණ පෙර ය. මේ වන විට ඇය අවුරුදු තිස් එකක විවාහක කාන්තාවකි.  ඇය පවසා සිටියේ ඇය දැන් ගෙවන ජීවිතය තුළ ඇය සතුටින් ජීවත්වන බවත් ගෙවී ගිය අතීතය පිළිබඳ කණගාටුවකින් පසුවන බවත් අතීතය නැවත සිහිකිරීමට පවා අකමැති බවත්ය. ඇය කියා සිටියේ ඇයගේ මවගේ තිබූ කුරිරු බව  සහ නොදැනුවත් මානසිකත්වය නිසා එවන් ඉරණමක් ඇයට හිමි වූ බවයි.

දෙමව්පියන්ගේ අන්ඩතෙට්ටම්

“ගෙදර හිටපු කාලෙ මට ජීවිතේ එපා වෙලා තිබුණේ. අම්මගෙ වැඩේ හැම වෙලාවෙම කෑගහන එක. ගෙදර වැඩපොළ කොච්චර කළත් අම්මා කිසි හොඳක් කිව්වේ නෑ. මොකක්ම හරි වරදක් අල්ලගෙන කෑගහනවා. අපේ තාත්තා ගොවිතැන් සහ කුලී වැඩ තමයි කලේ. ගෙදර අඩුපාඩු තිබුණා. ඒ් නිසාම අම්මා හැමවෙලේම දැක්කේ මාව බරක් විදිහට. එයාට ඕන උනේ කොහොම හරි මාව කසාද බන්දලා නිදහස් වෙන්න. මේ අතර අඩු වයසින්ම මම රැකියාවකටත් යනවා. ඒ අතරතුරේ මම සම්බන්ධයක් පටන් ගන්නවා. අම්මලා විරුද්ධ වෙන්නේ නැහැ. එයාගේ පැත්තෙ දෙමව්පියන්ට කතා කරලා අපේ කසාදෙ තීන්දු කර ගන්නවා. මේ අතරතුර මට අනතුරක් සිද්ධ වෙනවා.  ඒ් නිසා පාසල් යන්නත් බැරි බැරිවෙනවා. ඒ නිසාම ටික කාලෙකින් අපි විවාහ වෙන්න තීරණය කරනවා. එතකොට මගේ වයස අවුරුදු 16යි. අවුරුදු කීපයකින් පස්සේ මගේ විවාහ ජීවිතය අසාර්ථක වෙනවා. එයාගෙන් ගුටි කන්න, බැලුම් අහන්න, නොයෙකුත් පීඩන වලට මං මුහුණ දෙනවා. ඉවසන්න බැරි තැන මම ආපහු ගෙදර යනවා. ගාමන්ට් රස්සාවක් කරගෙන ඉන්නකොට  මට ආය කෙනෙක් මුණගැහෙනවා. ටික කාලයක් ආශ්‍රය කලහම එයා මගෙන් කැමැත්ත ඇහුවා. මම මගේ කතාව කිව්වටත් පස්සේ එයා කැමති වුණා මාව කසාද බඳින්න.  ඊට පස්සේ අපි දෙන්නා විවාහ වෙලා දැන් සතුටින් ජීවත් වෙනවා. මම නොදන්න කාලේ මට හරි හමන් මග පෙන්වීමක් තිබුණා නම් මගේ ජීවිතයට එහෙම පරිච්ඡේද දෙකක් ලියවෙන්නෙ නැහැ. ඒ ගැන තියෙන්නෙ පුදුමාකාර පසුතැවීමක්.”

ඇයගේ කතාව එසේ වෙද්දී ඒ වගේම තවත් කතාවක් ඒ ගමේ තියෙනවා. ඇය මේ වන විට වයස අවුරුදු 32 ක වැන්දඹු කාන්තාවක හා වයස අවුරුදු 15ක දියණියකගේ මවක්.   ඇයගේ කතාව පිළිබඳව ඇය සඳහන් කර කියා සිටියේ,

“ඒ වෙද්දි මගේ වයස අවුරුදු 15යි. අපේ අම්මගේ අම්මා අසනීප වුණ වෙලාවක  ඇයව බලාගන්න මම ගමට යනවා. එහෙ ඉන්නකොට තමයි මට මගේ මහත්තයා මුණගැහෙන්නේ. එයාට අවුරුදු දාහතයි. අපි එකම පවුලේ නෑදෑයෝ.  මම එහේ ඉන්නකොට අපි අතර සම්බන්ධයක් ගොඩනැගෙනවා. එකම පවුල නිසා අපිට ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. කොහොම හරි අපි ඒ කාලේ එකට ඉන්නවා. ඒ් දේවල් එහෙම වෙයි කියලා හිතුවේ නෑ. ඒත් නොතේරෙනකමට එහෙම දේවල් සිද්ධ වුණා. ඊට පස්සේ කරන්න දෙයක් නෑ. අපි එකට ජීවත් වුණා. විවාහ වුණේ වයස හරි ගියාට පස්සේ. එතකං අපි විවාහ නොවී එක ගෙදර ජීවත් වුණා. මේ කාලෙදි අපිට දරුවෙකුත් ලැබෙනවා. එතකොට මට අවුරුදු 17 ක් වගේ. මහත්තයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. වෙන වෙන සම්බන්ධකමුත් එයාට තියෙනවා. ඒ දවස්වල මම ඒවා දැක්කට මට තේරුමක් නෑ. කොහොම වුනත් දරුවත් හදාගෙන එයත් එක්ක එක ගෙදරක ජීවත් වෙන්න පටන් ගත්තා. නමුත් එයා හැදුනේ නැහැ කවදාවත්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක වැඩි වුණා. හම්බ කරන හැමදේම ඒ දේවල්වලට වියදම් වුණා. ස්ථාර රස්සාවකුත් නැතුව ජිවත්වෙන එක ගොඩාක් අමාරු වුණා. මට ජීවිතයත් එක්ක එපා වුණා. කාලයත් එක්ක ඒ් දේවල් නිසාම අපි අතර රණ්ඩු සරුවල් ඇති වුණා. ඊට පස්සේ දරුවත් එක්ක මම දැන් තනියම ජීවත් වෙන්න තීරණය කළා. මේ වන විටත් අපි දික්කසාද වී නැහැ. නඩත්තු නඩුවක්වක් යනවා. මට ඉන්නෙත් ගැහැණු දරුවෙක් නමුත් මට වෙච්ච දේ මම එයාට වෙන්න දෙන්නේ නැහැ. මේ තත්ත්වෙට මුහුණ දුන්නෙ මගේ නොදැනුවත්කම නිසා. මට දැන් තේරෙනවා. ඒ නිසා මගේ දුවට එහෙම නොවෙන්න මම එයා ගැන අවධානයෙන් ඉන්නවා.

නොදැනුවත්කම

නොදැනුවත්කම නිසා ජීවිතය එලෙස දුක්ඛිත ඉරණමකට ඇද දමාගත් ඇයගේ කතාව දැක දැක ම ඇයගේ නැගණියද අඩු වයසේදීම තරුණයකු සමඟ පලාගොස් අවිවාහකව ජීවත් වූ බවත් පසුකාලීනව විවාහා වු බවත් මේ වන විට දරුවකු ද සිටින අවුරුදු 26ක කාන්තාවක බවයි ඇය පවසා සිටියේ.

2018 වසරේ ඒ ගමේ එවන් තවත් කතාවක් අසන්නට ලැබුණි. ඒ පවුල ඉතා දුප්පත්.  පියාද නොමැති පවුලේ දරුවන් බොහොමයක් සිටි පවුලකි. ඇයගේ මව මහත් සේ දුක් මහන්සි වී ඔවුන් ජීවත් කළා සේම සියලූම දෙනාට පාසල් අධ්‍යාපනය ලබාදීමට මහත් වෙහෙසක් දැරුවා. නමුත් ඒ ගැන කිසි හැඟීමක් නැතිව පාසල් කාලයේදි පටන් ගත් ප්‍රේම සම්බන්ධතාවයකට මුලා වි තම පවුලෙන් පලා යන ඇය  අද ගෙවමින් පසු වන්නේ වයසට ඔරොත්තු නොදෙන්නා වූ දුක්බර ජීවිතයකි.  වයස අවුරුදු හතරක කුඩා දැරියක් සිටින ඇය මේ වන විට අවුරුදු විසි හතරක කාන්තාවකි. ඇයගේ ස්වාමිපුරුෂයා ද ඒ වයසේම ය.

“අපේ පවුලේ ගොඩක් සහෝදර සහෝදරියෝ හිටිය. මමයි මල්ලිලා දෙන්නයි අම්මයි ඇරුනම අනිත් හැමෝම හිටියේ ගෙදරින් පිට රැකියාවල සහ අධ්‍යාපන කටයුතුවල. කුඩා කාලයේ ඉඳලා සහෝදරයන් ගොඩක් එක්ක හැදුනු මට සහෝදරයෝ වෙන්නුණාට පස්සේ ලොකු නිදහසකුත් දැනුණා.  පාසලේ පන්තියේ මගේ ගොඩක් යාලුවන්ට ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒ අතර මමත් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. කීප දෙනෙකුම පාසල් යන වයසේදීම පෙම්වතා සමඟ හොරෙන් යනවා. මගේ සම්බන්ධය ගෙදර අය හා නෑදෑයන් දැනගත්තට පස්සේ අපේ සම්බන්ධය විහිළුවකට ගත්තා. එයා දුප්පත් කෙනෙක්. මාත් එහෙමයි. එයාගේ දුප්පත්කම අල්ලගෙන එක එක අඩුපාඩු කියල විහිළු කළා. අපහාස කළා. ඒත් එක්ක මට එයාල ගැන කේන්තියකුත් තිබුණා. හැබැයි අම්මා ගැන දුකකුත් තිබුණා. එයා අපි වෙනුවෙන් ගොඩක් දුක් වින්දා . අම්මට ලොකු  අවබෝධයක් තිබුණේත්  නැහැ අපි කරන කියන දේවල් හොයලා බලන්න, උපදෙස් දෙන්න. අම්මගේ ඒ නොදැනුවත්කමත් මට එක හේතුවක් වුණා ඒ සම්බන්ධ තවදුරටත් පවත්වාගෙන යන්න. කිසිම බාධාවක් නැතුව. මේ අතරතුර අපිට මුණ ගැහිලා කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. එහෙම අපි මුණගැහුණු,  කතා කරපු අවස්ථා කිහිපයක් දැකපු ගමේ සමහර අය සහ පවුලේ අය අනවශ්‍ය විදිහට කතා හදන්න පටන් ගත්තා. වැරදි අර්ථකථන දීලා ගම පුරා කටින් කට  පද හැදුවා. ඒ දේවල් එක්ක අපි තීරණය කරා ගමින් පිටවෙලා යන්න. අපේ වයස අවුරුදු 17යි. සාමාන්‍ය පෙළ කරලා ගෙදරට වෙලා හිටියේ. ඒ කාරණා නිසා අපි ගමෙන් ගියා. ඊට පස්සේ අපේ ගෙදර අය අපිව හොයාගෙන ආපහු මාව ගෙදර එක්කන් ආවා. ඒත් මට ගෙදර ඉන්න හිතුනෙ නෑ. මට හිතුනේ අපේ ගෙදර අය මමයි එයාවයි වෙන් කරයි කියලා. පවුලේ අය සහ ගෙදර අය ඒ සම්බන්ධයට ගොඩක් විරුද්ධ උනා. ඒ නිසාම අපි ආයෙ ගියා. ඊට පස්සේ අපි ගමේ පොඩිවට මැටියෙන් ගෙයක් හදාගෙන ඒ ගෙදර ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් මට අවුරුදු 05ක දියණියක් ඉන්නවා. මහත්තයාට ස්ථිර රැකියාවක් නෑ. ගොඩක් දුක්බර ජීවිතයක් තමයි ගෙවන්නේ. ඒත් සිද්ධ වුනේ සිද්ධ වෙන්න තියෙන දේවල්. අපි දෙන්නම කලින් තේරුම් ගත්තනම් ගම්මු පද හදන එක නවත්තන්න බෑ කියලා අපිට අපේ ජීවිත හදාගෙන පහුකාලීනව එකතු වෙන්න තිබුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කොට්ඨාශයේ මාවතවැව ගම්මානයෙන් හදුනා ගත් මේ ජීවිතවල වර්තමාන කතාවට මූල සාධකය ළමා වයසේ හිතුවක්කාරකම්, නොදැනුවත්කම් හෝ ළමා වයසට දැනෙන හැඟීම් පිට කිරිමම පමණක් නොවන බැව් පැහැදිලි ය. අතිශය ග්‍රාමිය සරල ජීවිත ගෙවන රජරට ග්‍රාමීය ජනතාවට ඇත්තේ අල්ප අනාගත අපේක්ෂාවන් ය. එවන් මානසිකත්වයක් තුළ ජීවත්වන ගම්වල බොහෝ දෙමාපියන්  අධ්‍යාපනය, අනාගත හීන ගැන මහා මාන්නයෙන් බලාපොරොත්තු පොදි බදින්නේ නැත. අධ්‍යාපන අරමුණු සඳහා ඔවුන් බොහෝ දෙනා අතර තරඟයක් නැත. ඔවුන්ගේ මූලික පරමාර්ථය දරුවන් උස්මහත් කිරීම හා අනාගතයේ ඔවුන්ට ඔවුන්ගේ අතපය වෙහෙසවා කුලි වැඩක් හෝ කරගෙන ජීවත්වීමට අවැසි පරිසරය ගොඩනඟාදීම ය. එවන් අඩු මානසික බුද්ධි මට්ටමක් ඒ් ග්‍රාමීය දෙමාපියන් තුළ අදටත් පවතින්නේ පරපුරෙන් පරපුරට එන අවම අධ්‍යාපනය, පුළුල් සමාජ ආශ්‍රයක් නොතිබීම, සාම්ප්‍රදායික ග්‍රාමිය රාමුවට කොටුවිම, නොදැනුවත්භාවය මෙන් ම  පුළුල් පරාසයක විසිරුණු අනාගත ඉලක්ක අරමුණු නොතිබිම යන කාරණා නිසා ය.

ලිංගික අධ්‍යාපනය

ඉහත සිද්ධි අධ්‍යයනය කිරිමෙන් මේ කාරණා මනා පැහැදිලි ය. විශේෂයෙන් ම ඒ් ගැහැණු දරුවන්ගේ මව්වරුන් තුළ පවතින නොදැනුත්කම් හා අනවබෝධය, අධ්‍යාපනය වෙත දරුවන් නැඹුරු කිරිමට තරම් හෝ අරමුණක් නොතිබිම, ආර්ථික දුබලතාවලින් නිදහස් වීමට දියණිවරුන් බරක් ලෙස සැලකිම, ආදරය හා රැකවරණය මෙන් ම අවධානය ලබාදීමේ අඩු බව, අගය නොකිරීම, නොදැනුවත්කම වැනි කාරණා මේ ප්‍රදේශයේ බාල වයස්කාර දැරියන් අඩු වයසින්ම විවාහවිමට හෝ විවාහා නොවී විවාහ ජීවිතයක් ගෙවිමට නැඹුරුවිමට හේතු වන බව ද පැහැදිලි ය.

මෙහිදී අප අවධානයට යොමුකල යුතු වැදගත්ම කාරණයක් වන්නේ අප රටේ කිසිදු දරුවෙක්ට ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීමට සමාජයක් ලෙස අප දක්වන නැමියාවය. ඒ ගැන රටේ අධ්‍යාපන බලධාරීන් මෙන්ම පොදුවේ රටක් ලෙස අප දක්වන පසුගාමී ආකල්පයන්ය. එහෙත් නූතන ලෝකය ළමයින්ගේ ආරක්ෂාව හා ඒ මත පදනම් වූ අයිතීන් සලකන්නේ අපට වඩා වෙනස්ම ආකාරයකටය. එහිදී ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, 27/1 වගන්තියට අනුව “කායික, මානසික, ආධ්‍යාත්මික, චිත්තවේගාත්මක සහ සමාජ සංවර්ධනය සඳහා උපකාරී වන අවම ජීවන තත්වයක් භුක්ති විඳීමට සෑම දරුවෙකුටම අයිතිය හිමි බව රාජ්‍යයන් පිළිගනිති.”

එහෙත් අප රටේ දරුවන්ට ඒ අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන්නේ ද? යන්න ගැටලුවකි.ලොව පුරා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන්/වරියන් පිළිගන්නා ආකාරයට ලිංගික අධ්‍යාපනය (sex education) ද අත්‍යවශ්‍ය සාධකයකි.ඒ අනුව දරුවන්ගේ වයසට සරිලන ආකාරයට ලිංගිකත්වය, ලිංගික අවශ්‍යතා, විෂම ලිංගිකයන් සහ ප්‍රජනනය වැනි කරුණු යුරෝපය ඇතුළු බොහෝ රටවල පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ එම විෂයය හැඳින්වෙන්නේ Relationship and Sex Education – RSE ලෙසිනි.

ඇතැම් රටවල ලිංගික අධ්‍යාපනය ඇරඹෙන්නේ දරුවන් ඉතා බාල වියේදීය.කෙසේ වුවත් ලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් පාඨමාලාවක් නොවේ. ඇතැමුන් එහි අවශ්‍යතාව අවධාරණය කරන අතර, එමගින් දරුවන්ගේ “මනස දූෂණය වන” බව පවසමින් තවත් සමහරු එයට දැඩි විරෝධය පළ කරති. මේ පසුබිම මත අප රටේ දරුවන්ට උරුම කර ඇත්තේ මෙවන් කටුක වූ යථාර්තයන්ට මුහුණ දෙන්නටය.

ළමා වයසේදිම නොදැනුවත්කම් හා විවිධ කාරණා මත ළමාවියට සමු දි නව ජිවිතයකට ආරම්භයක් ගත් මේ දැරියන්ගෙන් බොහෝ දෙනෙක් තම තමන්ගේ අතීතය වේදනාබර මතකයන්ගෙන් පුරවාගෙන සිටියත් වර්තමානයේ ගෙවමින් සිටින ජිවිතය තුළ සාර්ථකවිමටද වෙර දරයි. එය ඔවුන් සතු වෙනමම ශක්තියකි. එහෙත් රටේ අනාගත පරපුරට එවැනි අමිහිරි අත්දැකීම් නොලබා සිටින්නට අවශ්‍ය පරිසරය සකසා දීම සමස්ත ජාතියේම වගකීමකි.

| නිර්මලා දිසානායක  
| නිර්මලා දිසානායක  

 

Leave A Comment