බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලැබීමේ පහසුකම්

නව අටමහල් ගොඩනැඟිල්ල මේ වසරේ ඇරේ
බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමේ සේවාව පුළුල් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වනවිට ඉදිකරමින් පවතින මහල් 08කින් සමන්විත ගොඩනැඟිල්ල ඒ සඳහා වෙන්කර ඇත. එහි මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විත කාමර 82ක් ස්ථාපිත කිරීමට නියමිතය.

ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක සහ යෝග අභ්‍යාස ඒකකද ඊට ඇතුළත්ය.

යාපනය, නැගෙනහිර, කොළඹ සහ යක්කල විශ්වවිද්‍යාලවල ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යයන කටයුතුවල නිරත වන උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් 600ක් සඳහා සායනික පුහුණුවීම් පහසුකම් ද මෙම නව ගොඩනැඟිල්ලේ ස්ථාපිත කරන බව අමාත්‍යාංශය පවසයි.

මෙරට එකම ආයුර්වේද ජාතික රෝහල ද මෙය වන අතර, නව ගොඩනැඟිලි සංකීර්ණයෙන් සේවා ආරම්භ කිරීමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි වසර තුළ මෙරටට සංචාරකයන් ලක්ෂ 40ක් ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කරන අතර එම සංචාරකයන්ට ආයුර්වේද ප්‍රතිකාර සේවා ලබාදීමෙන් විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට ද බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල පත් කිරීම එක් අරමුණක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ අටමහල් නව ගොඩනැඟිලි සංකීර්ණය මෙම වසරේ විවෘත කිරීමට බලාපොරොත්තු වේ. රජය විසින් මෙම ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 450ක් වෙන්කර තිබූ අතර, මෙවර අයවැයෙන් තවත් රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට ද පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර

Leave A Comment