මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ සැකකරුවෝ 30,000ක් පොලිස් දැලේ මෙහෙයුම් අඛණ්ඩව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිසිය මගින් සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී සැකකරුවන් තිස් දහසකට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පොලිස් කොට්ඨාස කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙරට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ආරම්භ කරන බව ද මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 920 දෙනකු ද විවෘත වරෙන්තුකරුවන් 14,000ක් ද මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් 16,000ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත්, බීමත් රියැදුරන් 11,757කට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම වැටලීම්වල දී ගිනි අවි 197ක් ද ස්වයංක්‍රීය ගිනි අවි සහ දේශීය නිෂ්පාදිත ගිනි අවි තොගයක් ද පොලිස් භාරයට ගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පොලිස් අඩංගුවට ගත් භාණ්ඩ අතර හෙරොයින් කිලෝ 14ක්, හෂිස් කිලෝ 20ක්, අයිස් කිලෝ 33ක් සහ ගංජා කිලෝ 1123ක් තිබුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ධර්මසේන වැලිපිටිය

Leave A Comment