මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි

ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජීවිත කතාව සහ දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සාකච්ඡා කර ඊළඟ පරම්පරාවට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 105 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් කොළඹ 07, රාජ්‍ය ඔසුසල් ශ්‍රවණාගාරයේ පැවති සංවත්සර උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“වෙළෙඳ නාමය වෙනුවට ඖෂධීය නාමයෙන් ඖෂධයක් ලිවීම මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තිය ලෙස මෑත කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් පෙන්වා දීමට උත්සාහ කළත් එය මේ දැවැන්ත ක්‍රියාදාමයේ එකම එක පියවරක් පමණයි. එතුමන්ගේ සමස්ත දර්ශනය මත පදනම් වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකර වෙළෙඳ නාමය වෙනුවට ඖෂධීය නාමය ලිවීමට කොතරම් උත්සාහ කළත්, එයින් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ.

සෞඛ්‍ය අමාත්‍යාංශය අභියෝගාත්මක අමාත්‍යාංශයක්. රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝග නිවාරණය, රෝහල් සේවා සැපයීම නොව ප්‍රමුඛ අභියෝගය වන්නේ ඖෂධ සැපයීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි අවධානයක් මෙන්ම ප්‍රමුඛතාවක් දෙන්නේ ඖෂධ සැපයීමටයි. රජයක් ලෙස ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධානතම ආයතන හතර වෛද්‍ය සැපයීම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවයි.

මේ ආයතන හතර සමඟ අවබෝධයකින්, ඒකාබද්ධතාවකින් සහ සැලැස්මකින් යුතුව කටයුතු කර මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව දීමට රජය වගකීමක් සහිතව කටයුතු කරනවා.”

මහාචාර්ය සේනක බිබිලේ මහතා 1920 පෙබරවාරි මස 13 වැනිදා දකුණු පළාතේ කතලුව නමැති ගම්මානයේ උපත ලැබීය. අධ්‍යාපනය ආරම්භ කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු ලෙස සේනක බිබිලේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ 1940දීය. 1945දී සේනක බිබිලේ මහතා එම්. බී. බී. එස්. උපාධිය සමත් වූයේ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහ ශුද්ධ වෛද්‍ය විද්‍යා විෂයට පිදෙන “දඩාබෝයි” රන් පදක්කම සහ ශල්‍ය වෛද්‍ය විෂයට පිදෙන “රොක්වුඩ්” රන් පදක්කම දිනා ගනිමිනි. 1947දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණු ආචාර්ය සේනක බිබිලේ 1952දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඩී. උපාධිය ලබා ගත්තේය. ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතාය.

මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජේමුණි, හිටපු ඇමැති, මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ එම්. එල්. සුබසිංහ, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පුත් හිරන්ජන් බිබිලේ, මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්ම මහත්මීහු සහභාගී වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

ඡායාරූප – සුදත් නිශාන්ත

 

Leave A Comment