මම ශවේන්ද්‍ර
“මම කඳු මුදුනට නැඟ ගත්තෙමි. ජීවිතය ගැන පැවැති සියලු ආසාවල් අතහැර මේ ගමන මම පැමිණියෙමි. ඒ ගැන මට ඇත්තේ සතුටකි. හෙට රටට ඉර පායන හැටි දකින විට පවසා ගැනීමට නොහැකි හැඟීම් උල්පතක් මගේ හදවත මත උපදියි.”
දශක තුනක් බිඳී පැවති දකුණ, උතුර, නැඟෙනහිර, බස්නාහිර එකට යා කොට මා කළ පිංකම පොළොවට ණය නැති මිනිහෙකු වී මට මිය යෑමට පැවති සංසාර බිය පලවාලීය.
අපරාජිත සෙන්පතියෙකු ලෙස හතළිස් එක් අවුරුද්දක් ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකු ගත කළ ඉතිහාසයේ දීර්ඝතම සේවා පරිච්ඡේදය ගෙවාලමින් උදාරතර හමුදා පෞරුෂයකින් යුක්තව මා හට හමුදා රාජකාරියාවලියෙන් නික්ම යෑමට ලැබීම මාගේ දේශමාමකත්වයට, ජාත්‍යාලයට, රණකාමීත්වයට, රාජ්‍ය පාක්ෂිකත්වයට දෙවියන් දුන් පඬුරක් යැයි සිතෙති.
ප්‍රථම හමුදා නිලධාරියා
ආධුනික කැඩේට් නිලධාරියෙකුව යුද්ධ හමුදා රාජකාරියට රපෝර්තු කර ලංකා යුද්ධ හමුදා නිල ධූරාවලියේ පවතින සියලු ම නිලතල හොබවමින් ද, ඛණ්ඩ අණ දෙන්නාගේ සිට හමුදා රාජකාරී පටිපාටියෙහි පවතින සියලු අණ හා විධාන නිකුත් වන නිලතල උසුලමින් ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යුද්ධ හමුදාධිපති පදවි ප්‍රාප්තව විනයධර හමුදා නිලදරුවෙකු ව මා ගත කළ මිලිටරි පරිච්ඡේදය යමෙකුට අභියෝගයට ලක් කළ නොහැකි පාරදෘශ්‍ය පරිච්ඡේදයක් බව මම නිභයවම පවසමි.
මේජර් ජෙනරාල් විජය විමලරත්න බිහි කළ රණකාමී ගජබා රෙජිමේන්තුවට බඳවා ගනු ලබන ප්‍රථම හමුදා නිලධාරියා ලෙස දෙවන ලුතිනන් රාජකාරියට පැමිණෙන මා මේජර් ජෙනරාල්වරයාගේ පියගුණ සෙවණෙහි රණවිරුකම් ප්‍රගුණ කරන භාග්‍යය ලැබී ය. එතුමා සිය පෞද්ගලික පොත් ගුලෙහි පොතපත පවා මට ගෙන දී ශාස්ත්‍රීයව පෝෂණය වීමට අවැසි පහසුකම් ද සලසා මා හට පවසා සිටියේ එවකට මේජර් ජෙනරාල්වරයා හොබවන ලද අණ දෙන නිලයට යම් දිනයක මා ද පත් විය යුතු බවයි.
මා යුද්ධ හමුදාවට එක්වන්නේ යුද්ධ හමුදාවක් සැබවින් ම මහ පොළොවේ යුද්ධයක යෙදෙන භීම යුගයක ය. එකල පැවති අවිධිමත් රාජ්යාරක්ෂණ ප්‍රතිපත්ති හේතු කොට දින 365 ඒම රටේ කුමනම හෝ ගමක හමුදා මළගෙයක් පැවතීම සුලබ යථාර්ථයක් විය. එපමණටම හමුදා මරණ සිල්ලර වී පැවතියේ ය.
හමුදාවට ආධුනික මගේ ප්‍රථම රාජකාරිය ලෙස අනුරාධපුර මහ රෝහලට රැගෙනා කෝකිලායි ත්‍රස්ත ප්‍රහාරයේ මරණයට පත් සෙබළු සහ තුවාල ලත් සෙබළු බාර ගැනීම පැවරුණි. ඒ වේදනාත්මක සංවේදී රූපාවලිය මට ප්‍රබල ආත්ම ශක්තියක් ගෙනාවේ ය. එය යුද්ධ හමුදාවෙන් නික්ම යන දිනයක මා යා යුත්තේ යුද්ධය පරාජය කළ අපරාජිත රණකාමියෙකු ව යන සිතුවිල්ල හදවත පතුලෙහි නිදහන් කළේ ය.
’80 දශකයේ ම්ලේච්ඡ ත්‍රස්ත යුද්ධය දරුණු ලෙස පැතිර ගිය යාපන අර්ධද්වීප සටන් බිමට මම ගජබා රෙජිමේන්තු පළමු බළ ඇණියේ දෙවන ලුතිනල්වරයෙකුව සටනට පිවිසියෙමි. වඩමරාච්චි ක්‍රියාන්විතයේ දී අච්චුවේලි නගරයේ දී සහ ජය සිකුරු ක්‍රියාන්විතයේ දී ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී මා මාරාන්තික ප්රහාරයන්ට ලක්ව ජීවිතය ගලවා ගෙන සටන් බිමෙන් පලා නොගොස් යළිත් සටන් බිම ම ජීවිතය කර ගැනීමට පෙලඹිණි.
එය මා ලබන ජීවන සතුට විය. ඒ නිසා උතුරෙහි ක්‍රියාත්මක කළ යාල් දේවී මෙහෙයුම හැරුණ විට සෙසු සියලු ප්‍රධාන ක්‍රියාන්විතවල මා පාබළ හමුදා නිලයෙකු ලෙස උණ්ඩ කැබලි රැඳුණ සිරුර ද දරා ගෙන ලේ, දහඩිය, කඳුළු මේ මහ පොළොව මත හෙළී ය. මා කපිතාන් නිලයට උසස් වීම් ලැබී ය. එවිට මා උතුරු යුද බිමේ අලිමංකඩ ගලවා ගැනීමට ක්‍රියාත්මක බලවේගය මෙහෙයුමේ ඉදිරිපෙළ සටනට පිවිස සිටියේ ය. මේ අතරතුර දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයට මා යොමු කළේ ය. යුදබිම හැර යෑමට මැළි වූ මට මේජර් ජෙනරාල් විමලරත්න හමුදා භාෂාවෙන් සවන පිරෙන්න ඇමතීය. හමුදා නියෝග යනු මඟහැර යා නොහැකි නියෝග ය. මා දියතලාවට පිටත් විය. එහි පුහුණු උපදේශක නිලයක රාජකාරි පැවරුණි. එහි දී රණකාමය සේම රණ ශාස්ත්‍රය ද සටන් බිමට සම ලෙස උපයෝගී වන බව හඳුනා ගැනීමට හැකි විය. (එම යථාවබෝධය තුළ මා පසු කලෙක බටලන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයට පිවිස පී. එස්. සී උපාධිය ලබා ගැනීමට සමතෙකු විය.)
දියතලාව ආරක්ෂක විද්‍යාලයේ පුහුණු උපදේශක පැවරුම නිමා කළ මා යළි යාපනය ගලවා ගැනීමේ සටන් බිමට පිවිසියේ ය. ඒ පූනරීන් හි පිහිටි 8 වන ගජබා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියාව පත්වීම් ලැබ ගෙන ය. එය යුද්ධ හමුදා ඉතිහාස කතාවේ ළාබාලතම අණ දෙන නිලධාරියා ලෙස පත්වීම් ලැබ ගෙන ය. එයින් කලකට පසුව දෙවන වරට ද ආධුනික කැඩේට් නිලධාරීන් පුහුණුව පිණිස මාගේ සේවය අවශ්‍යව යුද්ධ හමුදව මා දියතලාවට කැඳවී ය. යුදබිමෙන් දුරස් වී මධ්‍යම පළාතේ දියතලාවේ ගත කළ ද මට උවමනා වී පැවතියේ යෞවනය යුද බිමේ ම ගෙවාලීමයි. පවුල් බරින් නිදහස් යෞවනෝදයේ දී රටේ උස් නිදහස පතා මිය යෑම මගේ ඒකායන ප්‍රාර්ථනාව විය. එය විවාහකයකු වී ‘යැපෙන ජීවිත’ අසරණ කර මිය යෑමකට වඩා මා උතුම් කොට සැලකුවේ ය.
සටන් බිම
යළි උතුරු ක්‍රියාන්විතවලට මා කැඳවී ය. ඒ මුහමාලෙයි ජාතික ඉදිරි ආරක්ෂක වළල්ලේ 3/4ක විශාල භූමි පරිශ්‍රයක් සතුරු ග්‍රහණයට ගොදුරුව පැවති ඉරණම් සහගත යාමයකය. මා හට යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බළකාය මෙහෙයවීමේ පැවරුම පවරා මුහමාලේ ගලවා ගැනීමේ සටනට යොමු කළේ ය. මට එම අභියෝගය ජයගත හැකි විය. මුහමාලේ ගලවා ගැනීමේ සටන හමුදා ජයග්‍රහණයකින් නිමාවට පත් විය.
යුද්ධය ජීවිතය කර ගන්නා මගේ නොපසුබසින රණකාමය පිළිබඳ ව සෑහීමකට පත් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, හමුදා විරුවෙකු සටන් බිමෙහි පෙන්වන සංග්‍රාමික දක්ෂතා සඳහා පිරිනමන වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණශූර පදක්කම යන සම්මාන ත්‍රිත්වයම මාගේ දෙවන ලුතිනන් නිලයේ දී ම මා හට එකවිට ම පලඳන්න පියවර ගැනී ය. එය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයෙහි දෙවන ලුතිනන්වර නිලයකට හෝ ඒ හා සමගාමී ත්‍රිවිධ හමුදා කවරම නිලයකට හෝ වීර සම්මාන ත්‍රිත්වයක් එකවිට පිළිගන්වනු ලැබූ එකම සහ ප්‍රථම ඓතිහාසික අවස්ථාව ලෙස ඉතිහාසගතව ඇත.
වර්ෂ 2007 උදා වූයේ යළි නොහැරෙන ගමනක පෙරනිමිති පහළව ය. නේකාකාර හමුදා නිලතලවල භාරධූර වගකීම් නිසියාකාරව පිළිපදිමින් යුද්ධයේ ජය සොයන මා ඒ වන විට බි්රගේඩියර් නිලයට උසස් වීම් ලැබ තිබුණි.
මවු පොළොව ගරිල්ලා ත්‍රස්ත ග්රහණයෙන් ගලවා ගන්න අවසන් සටන පටන් ගැනී ය. එය වන්නි මානුෂීය සටන ලෙස හැඳින්වී ය. 2007 සැප්තැම්බර් 01 දා එකී වන්නි මානුෂීය මෙහෙයුමට එක්කළ යකඩ පියාපතක් ලෙස මන්නාරම භූමි කලාපය ගරිල්ලා ග්රහණයෙන් ගලවා ගන්නා සටන් පෙරමුණක් බිහි විය. එම පෙරමුණ බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ ගේ සෙන්පතීත්වය යටතේ පළවන කාර්ය සාධක බළකාය ලෙස හැඳින්වී ය. එහෙත් නොසිතුව ලෙස බි්රගේඩියර් ගාල්ලගේ රෝගාතුර විණි. සියලු සේනා විධාන කාර්යයන් මා හට පවරනු ලැබී ය. එම හමුදා විධානයට යටත්ව එතැන් පටන් සටන මෙහෙයවීම මා පටන් ගැනී ය. මගේ අණට පණ දෙන වීරෝදාර රණවිරුවෝ මගේ දෑස් මායිමේ මියැදෙද්දී, සිය දේහධාරී සිරුරෙහි ඇස්, මස්, අත්, පා බිලි දෙද්දී සිය ලේ කඳුළු මතින් සාහසික ඝාතකයා පරාජයට පත් කරන පරමාභිලාශයෙන් නොනැවතී පෙරට ම ගමන් කළේ ය. නොබෝ කාලයක් තුළ මේ උදාර සටන් පෙරමුණ 58 වන සේනාංකය ලෙස නව නාමකරණයකට ලක් කරන්න යුද්ධ හමුදාව පියවර ගැනී ය.
පරාජය කළ නොහැකි යැයි ව්‍යාජව උත්කර්ෂය පත් කර ලෝකයා අනීතිකව සහ අශුද්ධව යුදමයව උපකාර කළ සංවිධිත ස්වාධීන රාජ්‍යයක පැවතුණ පාබළ, ගුවන්, නාවික ත්‍රිවිධ යුද බලයම සහිත ලොව එකම සහ බලවත් ම ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රබල යුද්ධ කඳවුරු 58 සේනාංක සෙබළුන්ගේ විස්මිත ප්‍රහාර හමුවේ එකිනෙක බිඳ වැටීමට පටන් ගැනී ය.
නොනවතින උදම් රළක්ව 58 සේනාංකය මන්නාරම් භූමි කලාපයෙන් ගමන පටන් ගෙන ලේ පිපාසිතයෝ ළඟ චණ්ඩ ලෙස ද අවිහිංසකයෝ ළඟ ශාන්ත ලෙස ද මුලතිව්වලට උතුරින් පිහිටි නැගෙනහිර සාගර වෙරළත සොයා ගමන් කළෝ ය.
අරිප්පු, සිලාවතුරේ ජය ගෙන මන්නාරමේ සිට පුනරීන් දක්වා දිවෙන ඒ 32 මාර්ගය යුධෝපාක්රමිකව භාවිතයට ගෙන අඩම්පන්, සහල්නැලිය, වෙඩිතල්තිව්, ඉලුප්පකඩවායි, වෙල්ලන්කුලම්, මුලංකාවිල්, නාච්චිකුඩා, ඩෙවිල්පොයින්ට්, පුනරීන්, පරන්තන්, කිලිනොච්චි, අලිමංකඩ දක්වා විජය ගමනින් පැමිණ නුවර – යාපනය ඒ 9 මාර්ගයෙන් නැඟෙනහිරට ගමනේ යෙදෙමින් ධර්මපුරම්, විශ්වමඬු, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන් හා වෙල්ලමුල්ලේවයික්කාල් දක්වා දිග් විජය කර හමුදා ජීවිත 29,000 දහසක් දඩයම් කළ, සිංහල, දෙමළ අහිංසක ජීවිත දහස් ගණනක් පාපකාරී ඊනියා හීනයට පරලොව පෙන්නුව, හමුදා සහ සිවිල් ජීවිත දහස් ගණනක ශරීරාංග අහිමි කළ, ප්‍රකෝටි ගණනක ජාතික ධනය සහ සම්පත් විනාශ කළ ලොව ම්ලේච්ඡතම ඝාතකයා බියගුලුව හැංගී කලපු මඩේ එරී පණ ගිය සිරුර සියැසින් දැක බලා රට ගිල ගත් දුක්ඛිත මරණ බය සදහට ම මිහිදන් කර යළි නිදහසේ ස්වර්ග රාජ්‍යයක් උපදවන්න මට හා මගේ විරුවන්ට හැකි විය.
අවසන් මානුෂීය සටන මෙලෙස සාරාංශගතව පැවසීමට උත්සාහ ගැනීම පාපයක් බව දනිමි. එය සැබැවින් ම නූතන මහා වංශ රචනාව විය යුතු ය. යුද්ධයෙන් සතුරු භූමි විශාල ම ප්‍රමාණය යළි හමුදා ග්‍රහණයට ගත්, සතුරු අවි ආයුධ විශාල ම ප්‍රමාණය සිය සතු කරගත් හා සහමුලින්ම විනාශයට පත් කළ, යුද්ධ හමුදා ප්‍රහාර මධ්‍යයේ මිය ගිය විශාල ම සතුරු ගරිල්ලා ගහණය හා පරිවාසයට ගත් විශාල ම ගරිල්ලා සාමාජිකයන් ප්‍රමාණය ද, ගරිල්ලන් මිනිස් පළිහක්ව යොදා ගත් ලක්ෂයකට අධික ලොව විශාලතම ප්‍රාණ ඇපකරු මිනිස් පළිහ මුදවා ගැනීම ද සාර්ථකව සිදු කර අවිහිංසකයෙකුට ඉඳිකටු තුඩක හෝ වේදනාවක් නොකළ යුද්ධ හමුදා 58 සේනාංකයේ මේ වීර පාගමන මහා වංශ කතාවක් නොවේ නම් එය සැබවින් ම ඓතිහාසික ඛේදාන්තයකි.
මෙය ලංකා සංග්රාම ඉතිහාසයෙහි කිලෝමීටර 200 කට නොඅඩු දුර ප්‍රමාණයක් ගෙවාලමින් මන්නාරම් සාගර වෙරළේ සිට මුලතිව් සාගර වෙරළ දක්වා ඇවිළෙන මාරාන්තික සටන්වල යෙදෙමින් රට හරහා පැමිණි ඓතිහාසික වීරෝදාර පාගමනකි. යටත් වූ සතුරෙකුගේ හෝ සිවිල් සාමාන්‍ය අහිංසකයෙකුගේ හෝ එකදු ලේ බිඳක් නොසෙල්වා අවතැන් වූවන්ගේ කුසගිනි නිවා, බිය සැක දුරු කර යුද්ධය මෙහෙයවූ අපරාජිත සෙන්පතියෙකු ලෙස මේ ජය මා සලකන්නේ මිහිකත මට බාර කළ යුතුකම් පිරීමක් ලෙසයි.
යුද්ධය අවසන් කිරීම
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 58 සේනාංකය පෙරටු සමස්ත ත්‍රිවිධ හමුදාව දශක තුනක් රටක් පැතුව මර බිය නැති ජීවන නිදහස මෙරට පොදු මහජනතාවට උදා කරලීම හමුදා නිල දරුවෙකුව මගේ මරණයට පෙර මා පැතුව එකම සිහිනයයි. ඒ මඟට මා අවදි කළ කෝකිලායිහි කොටි ගරිල්ලන්ගේ ජන සංහාරයෙන් මිය ගිය යුද්ධ හමුදා සෙබළුන්ට ද,යුද්ධයෙන් මිය ගිය සියලු රණවිරුවන්ට ද, සදා ඔත්පල වූ රණවිරුවන්ට ද දශක තුනක් මරුවා සමඟ ජීවත්ව ලද මේ ජාතික විජයග්‍රහණය මම බැති සිත්ව පූජා කරමි. මගේ ළය සරසන සියලු හමුදා විරු පදක්කම් පෙරළා ඔබට පලඳවමි.
යුද්ධය නිමා විය. සැබෑ ලාංකිකයෝ යුද විරුවන්ට සැලකිය හැකි උපරිමයෙන් ගෞරවය පළ කළෝ ය. රණබිම ගත කළ රණවිරුවන්ට රාජ්‍ය ගෞරවය ලැබිණි. ඒ සැබෑ ලාංකේය අව්‍යාජත්වය මා දැන් පවා නිරාමිස ලෙස විඳියි. දශක තුනකට සමීප කාලයක් මරණය සැඟව සිටිය උතුරේ ශුෂ්ක කැලෑවල ජන ඝාතක සතුරන් හඹා ගිය මට අජීවී උතුරු නැගෙනහිරට යළි ජීවය ගෙන ආ හැකි විය.
යුද්ධය නිමා කළ රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට රණවිරුවන් උපයෝගී කර ගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයකට රජය පැමිණ සිටියේ ය. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය මා හමුදා සේවයෙහි යෙදී සිටියදී ම ඇමරිකා එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයාව පත් කරනු ලැබී ය. මෙම පත් කිරීම ද සුවිශේෂ ය. ඒ යුද්ධ හමුදා සක්‍රීය සේවයෙහි නියුක්ත හමුදා නිලධාරියෙකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ සේවා තානාපති නිලධරයෙකු ලෙස පත් කළ එකම සහ ප්‍රථම රාජ්‍ය පත් කිරීම ලෙස බලාත්මක වූ බැවිනි. මෙම පත්වීම මගේ කුසලතා මත කළ පිළිගැන්වීමක් මිස එය පටු දේශපාලන හිතවත්කම් මත සිදු කළ දූෂිත පත් කිරීමක් නොවන බව සඳහන් කළ යුතු ම ය.
මෙකී රාජතාන්ත්‍රික පත් කිරීම මත එක්සත් ජනපද ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය බලා යන මම රාජකාරි භාර ගෙන සීමිත කාලයක් තුළ, එතෙක් කුලී මුදල් ගෙවමින් පවත්වා ගෙන පැමිණි නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයට සින්නක්කර නව පරිශ්‍රයක් මිලයට ගෙන වාර්ෂිකව කුලී ලෙස වියදම් කළ රාජ්‍ය ධනය රාජ්‍යය තුළ රඳවා ගැනීමට පිළියම් යෙදී ය. එකී තානාපති කාර්යාලය තුළ දෛනික සේවක අවශ්‍යතා සඳහා සිදු කළ අමතර වැය ශීර්ෂ සැලකිය යුතු ප්‍රමාණයක් මා හඳුන්වා දෙන සේවක ස්වේච්ඡා පදනම මත තානාපති කාර්යාලයට ඉතුරු කර ගත හැකි විය.
මගේ එක්සත් ජනපද රාජකාරී කාලසීමාව තුළ නවීන ඇමරිකානු ජනතා චින්තනයෙහි වේගයෙන් ව්‍යාප්ත වන බෞද්ධ දර්ශනයෙහි අධ්‍යාපනික අවශ්‍යතා පිරිමැසීම පිණිස රාජතාන්ත්‍රික සහාය ලබා දීමට හැකි විය. එහි දී 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය පෙරටු කොට ලොව විවිධ ජාතික බෞද්ධ භික්ෂූන් තුන්සියයකගේ සහභාගිත්වයෙන් ඉතිහාසයෙහි ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මා හට බෞද්ධ සෙත් පිරිත් සජ්ජායනයක් සහ විශේෂ බෞද්ධාගමික උත්සවයක් සංවිධානය කළ හැකි විය. එම දුලබ මොහොතේ දී මා විසින් Sri Lankan Identity for 2600 years නම් සංචාරක ආකර්ෂණ ග්‍රන්ථය ද එකල එක්සත් ජාතීන්ගේ බාං කී මූන් මහලේකම් තුමාට පිළිගැන්වීය.
මා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පෞද්ගලිකව ගොඩනඟා ගන්නා යථා සබඳතා ප්‍රයෝජනව ලොව සිසාරා පැතිර පවතින සාම සාධක හමුදා මෙහෙයුම්වල යෙදීමට ලාංකික යුද්ධ, නාවික, ගුවන් සහ පොලිස් නිල දරුවන් යොමු කරලන්න හැකියාව ලැබිණි. එයින් විශාල විදේශ විනිමයක් ලංකා රාජ්‍යයට ලබා ගත හැකි විය. තව ද එහි දී ලෝකය තුළ ලාංකික සෙබළු පිළිබඳ ගොඩනඟා පැවති දුෂ්ට ප්‍රතිරූපය බිඳ දැමීමට හැකි විය. මගේ සංකල්පයක් මත බිහි වන මෙම විදෙස් මිලිටරි සේවා ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට ලාභ උපයන විදෙස් ආදායම් සහිත තානාපති සේවා කාර්යාලයක් ලෙස නිව්යෝර්ක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිවර්ත කිරීමට හැකියාව ගෙනාවේ ය.
එය මට ඇති අවංක සතුටකි. මගේ රාජතාන්ත්‍රික සේවයෙහි කූටප්‍රාප්තිය ලෙස මා සලකන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ක්රියාන්විතයන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයකින් යුත් බලඝනය හඳුන්වා දීමට හැකියාව ලැබීම සහ දකුණු සූඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාවලියට සමගාමී ව සක්‍රීය ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝහල ස්ථාපිත කිරීමට හැකියාව ලැබීමයි. රාජ්‍ය පාලනයේ නාස්තිකාර පරිපාලනය තුළ විදෙස් සංචිත හිඟ ව අද්‍යතනයේ බංකොලොත් භාවයට පත් කළ මා නිදහස් කළ රාජ්‍යයට දෙවනුව ද නිදහසේ පණ නළ යම් පමණකින් හෝ ගෙනෙන්න, මා හට රාජතාන්ත්රිකයෙකු ලෙස හැකි වීම මට මගේ රට පිළිබඳ ව ඇති ලෝභ ආදරයේ සැබෑ ඵලයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මා කළ සේවය පිළිබඳ ජාත්‍යන්තර ඇගයීමකට ලක් කළ එතන සිටි බාන් කී මූං මහලේකම් තුමා මා එතුමාට ආරක්ෂක උපදෙස් සපයන ජාත්‍යන්තර ආරක්ෂක උපදේශකයෙකු ලෙස පත් කරලී ය. එම පිළිගැන්වීම මෙරට ඉතිහාසයේ ලාංකික හමුදා නිලධාරියෙකු ලද එකම හා ප්‍රථම පිළිගැන්වීම වේ.
රාජතාන්ත්‍රික සේවය
මා රාජතාන්ත්‍රික සේවය නිමවා යළි හමුදා සේවයට පැමිණියෙමි. මේ වන විට මා යුද්ධ හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු විය. ඒ යුද්ධයේ නිමාවත් සමඟ ම මා මේජර් ජනරාල් නිලයට උසස් කිරීමට රාජ්‍ය පාලනය විධිවිධාන යෙදුව හෙයිනි. එය ද ඓතිහාසිකය. එනම් යුද්ධ හමුදා ඉතිහාසයෙහි ළාබාලතම මේජර් ජෙනරාල් වීමේ භාග්‍යය එහි දී මා ලැබුව බැවිනි.
සියරට පැමිණි මා හට යුද්ධ හමුදා ඉහළ පරිපාලනයට සම්බන්ධ නිල කටයුතුවල යෙදීමට සිදු විය. එහි දී රාජතාන්ත්රිකයෙකුව මා උගත් පාඩම් ද පිටිබලයට ගෙන පැවරුණ රාජකාරිවල නිසි ලෙස පිහිටා සිටියේ ය.
වර්ෂ 2019 ජනවාරි 09 දින සුදුසුකම් සහ ජ්‍යෙෂ්ඨත්වය මත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීව රාජකාරි භාරගත් මා සංග්රාම භූමියේ ලද පරිණතකම්, හමුදා උපදේශකයෙකු ලෙස පෙන්වාලූ සමත්කම් හා යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස විදහාලූ විශිෂ්ටතා සාධනීයව වර්ෂ 2019 අගෝස්තු 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විසිතුන් වන හමුදාධිපතිවරයා ලෙස එවකට සිටි ජනාධිපති සහ සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරලීය. වර්ෂ 2020 ජනවාරි 01 වන දා සිට හමුදාධිපති නිලයට පරිබාහිරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නිලයෙහි වැඩ බලන රාජකාරී පැවරුම ද මා හට පැවරීය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල කාලයේ දී ය.
මා රටට පැවති ණය ගෙවුවේ ද, රටක් මා හඳුනන්නේ ද, රටක ජනතාව මට සෙත් පතන්නේ ද, මා ලබන ලෞකික සහ ලෝකෝත්තර සැපයක් වේ ද මේ සියල්ල මට උදා කළේ ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ය. එය අවිවාදිත සත්‍යය ය. මේ යථාවෙහි පිහිටා මගේ ප්‍රාණ සම හමුදාවට මා සියල්ල ලබා දෙනවා හැර, හමුදාවෙන් අංශු මාත්‍රයක් හෝ, මා ගෙදරට නොගෙන යන ස්ථිරසර අදිටනක පිහිටා මෙරට උත්තරීතර යුද්ධ හමුදාධිපති පදවියෙහි රාජකාරි භාර ගැනී ය.
යුද්ධ හමුදාධිපති යනු රටක ගාම්භීර ගෞරවය ය. මගේ නිල කාලය තුළ සිතුවිල්ලකින් හෝ එය කෙලෙසන්න අස්පර්ශ බලවේගයකට හෝ මම ඉඩක් ලබා නොදුන්නෙමි.
ලොව සමකාලීන නවීන හමුදා හා සමබල ප්‍රබල යුද්ධ හමුදාවක් ගොඩනැඟීම මගේ දූරදර්ශී සිහිනය විය. ඒ උනන්දුවට ම වර්ෂ 2020 දී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයෙහි ම ප්‍රථම වරට හඳුන්වා දෙන පස් වසරක යුද්ධ හමුදා නව්‍යකරණ පිළිවෙත මා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට WAY FORWARD නමින් හඳුන්වා දෙනු ලැබී ය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මා හඳුන්වා දෙන 1 බළකාය, ඉංජිනේරු සේනාංකය, ඩ්‍රෝන රෙජිමේන්තුව, නව අධ්යක්ෂ මණ්ඩල, මූලස්ථාන බළසේනාව, කෘෂිකර්ම සහ පශු සම්පත් බළකාය මෙකල රාජ්යාරක්ෂාවට සහ ජාතික වගා සංග්‍රාමයට බලපෑම් සහගත සේවාවක් සලසයි. යුද්ධ හමුදාව භාවිතයෙන් පසුව ටෙන්ඩර් කැඳවා විකුණන ඩිෆෙන්ඩර් ජීප් රථ එවැනි දුර්භාග්‍යයකට ලක් නොකොට යළි යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බළකා සහයෙන් නවීකරණයට ලක් කර හමුදා භාවිතයට යෙදවීමට හැකියාව ලැබීම රටෙහි නිරපරාදයෙහි සිදු වන ජාතික ධනය සහ ජාතික සම්පත් විනාශය යුද්ධ හමුදාව තුළින් පිටිදැකීමට මා ගත් උත්සාහයකි. යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය නිෂ්පාදනය කරන බෆල් රථ සහ යාන්ත්‍රික මිලිටරි රථ විදේශ හමුදාවන්ට අලෙවි කර, විදේශ විනිමය සාර්ථක ව උපයන මිලිටරි ප්‍රවාහන යන්ත්‍රෝපකරණ නිෂ්පාදන ව්‍යාපෘතියක් ද යුද්ධ හමුදාධිපතිව හමුදාවට හඳුන්වා දීමට මට හැකියාව ලැබුණි. තව ද හමුදා භාවිතය පිණිස වෙඩි නොවදින රථ වාහන, ට්‍රක් රථ සහ ගලිබවුසර් විශාල සංචිතයක් ද හමුදා සෙබළුන්ගේ පරිශ්‍රමයෙන් සහ දේශීය තාක්ෂණික දැනුම භාවිතව නිෂ්පාදනය කොට යුද්ධ හමුදාවට එක් කිරීමට මා නායකත්වය ගැනී ය. යුධෝපකරණ බළකාය යටතේ යුද්ධ හමුදා මෙවුලම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ගොඩනැඟීමට ද මා යුද්ධ හමුදාධිපති ලෙස පියවර ගැනී ය. යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට හා යුද්ධ හමුදා විශේෂ බළකායට නවීන සංග්‍රාමික අංක 07 නිල ඇඳුම සහ ගුවන් සංක්‍රමණික බළසේනාවට නවීන නිල ඇඳුමක් නිමහම් කිරීමට ද යුද්ධ හමුදාවට නොපැවති සිසිර ඍතු හමුදා ඇඳුමක් එළි දැක්වීම ද හමුදා නිලයන්ට සහ නොනිලයන්ට අභිමානනීය ලෙස පැලඳිය හැකි නිල ඇඳුම් සහ ආයිත්තම් රාශියක් හඳුන්වා දීමට ද මගේ හමුදාධිපති සමය තුළ මා හට යථාර්ථයකට පත් කර හමුදා පරිහරණය පිණිස පිළිගැන්විය හැකි විණි. එමෙන් ම යුද්ධ හමුදාවට සෞඛ්‍ය සම්පන්න පෞරුෂවත් නිල දරුවන් බිහි කරන පරමාර්ථව මා අකුරේගොඩ යුද්ධ හමුදා මූලස්ථානයට ලොව නවීනතම උපාංගවලින් සැකසුණ ශරීර සුවතා මධ්‍යස්ථානයක් හඳුන්වා දෙනු ලැබී ය.
යුද්ධ හමුදාව උදෙසා ජීවිතය කැප කළ ‘නිල ලත් සහ නිල නොලත්’ හමුදා නිල දරුවන් විශාලතම සංඛ්‍යාවට යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට එකවර උසස් වීම් සමුදායක් ද ලුතිනල් කර්නල් නිලයෙහි සිට මේජර් ජෙනරාල් නිලය දක්වා පැවති සීමිත නිල සංඛ්‍යාව ව්‍යාප්ත කර හමුදා උසස් නිල දරුවන්ගේ නිලතල උසස් වීම් ලැබ ගැනීමේ අවස්ථා ප්‍රමාණය ඉහළ නංවාලීමට ද යුද්ධ හමුදාධිපති ලෙස මම පියවර ගැනී ය. මෙහි දී නිලධාරීන් 4938 දෙනෙකුට ද සෙසු නිලයන් 94851 දෙනෙකුට ද උසස් වීම් ප්රදානය කර ඇත. එමෙන් ම හමුදා සාමාජිකයන්ට නිවසක් සාදා ගැනීමට අවැසි ආර්ථික සවිය පිණිස මිලියන 15ක් දක්වා වන අඩු පොලී ණය පහසුකම් ලබා ගැනීමට සහ සිය නිවස ගොඩනැඟීමට අවශ්‍ය වන හමුදා මානව සම්පත් ලබා ගැනීමට යුද්ධ හමුදා පරිපාලන ක්‍රමෝපාය තුළ මා නව ප්‍රතිසංස්කරණ රාශියක් ගොඩනැඟී ය.
වසංගතයට නායකත්වය දීම
යුද්ධයෙන් ආබාධිත සියලු රණවිරුවන් නිසි ලෙස රැක බලා ගැනීම සහ විශ්‍රාමික සියලු හමුදාධිපතිවරු ගැන සොයා බැලීම මගේ හමුදාධිපති කමේ අප්‍රමාණ උනන්දුවක විය. කන්ද උඩරට මහනුවර ගොඩනඟන ලද යුද්ධ හමුදා රෝහල ද යුද්ධ හමුදාධිපතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මා උරුම කළ මහරු සම්පතකි.
යුද්ධ හමුදාව යනු කුමනාකාර හෝ නොහිතන විපතක දී පළමුවෙන්ම පෙනී සිටින හදවතක් ඇති මානව පෙරමුණ ය. ලෝකයක් මර බියේ ගිල් වූ කෝවිඩ් වසංගතය හමුවේ ජාතිය බේරා ගැනීමේ මෙහෙයුම භාර වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ය. පැය 24 පුරා කෝවිඩ් මාරයා පරදන මානුෂීය මෙහෙවරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රොද බැඳෙන්නේ සියලු යුද්ධ හමුදා ප්රතිසංවිධාන පසෙකට ගෙන ය.
මා 24 පැය ම අවදි විය. කෝවිඩ් වසංගත ව්‍යාපෘතිය පාලනය, දෙකෝටි විසි ලක්ෂයක ජනගහණ එන්නත්කරණය, ජනතා ආහාර අවශ්‍යතා සහ මානසික ව්‍යාකූලතා සොයා බැලීම, දිවයින සිසාරා කෝවිඩ් නිවාරණ මධ්‍යස්ථාන සහ රටේ දැවැන්ත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස එකවර රෝගීන් 1500 කට ප්‍රතිකාර ලබා දිය හැකි කෝවිඩ් නිවාරණ මධ්‍යස්ථානය සකසා පිහිටුවීම, ජාතික රෝහල් පද්ධතියෙහි පවතින අවශ්‍යතා සම්පාදනය, ගම් නියම්ගම් හී ජනතා සංසරණ සීමා පනවා මහජන ආරක්ෂාව පවත්වා ගැනීම, කෝවිඩ් රෝගීන් රෝහල් ගත කිරීම හා එකී මරණවල අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතෙහි සිදු කිරීමට උපකාර වීම, කෝවිඩ් ප්‍රතිශක්ති එන්නත් දිවයින තුළ බෙදා හැරීම හා බැහැරට යා නොහැකි අසරණ ජනතාව සොයා ප්‍රතිශක්ති එන්නත් ලබා දීම, ජනමාධ්‍ය හරහා දෛනිකව මහජනතාව දැනුවත් කිරීම යනාදි මානුෂීය මෙහෙයුම් යුද්ධ හමුදා සවිබලය හා කැපවීම උපයෝගීව, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සීමා රහිත උපකාරය ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ජනමාධ්‍ය ආයතන සහ සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සේවාවල සහයෝගය ද ලැබගෙන, කෝවිඩ් නිවාරණ ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියාව මා නිමා කළ දෙවන අපරාජිත මානුෂීය සංග්‍රාමය වේ.
අරගලයට මුහුණදීම
වර්ෂ 2022 රට තුළ උදා වන මහජන කැලඹීම මගේ හමුදා රාජකාරි ජීවිතයෙහි මා සැබෑ මිතුරන් සහ සැබෑ හතුරන් ප්‍රායෝගිකව හඳුනා ගන්නා සංකීර්ණ යාමයකි. රාජ්‍ය යුද්ධ හමුදාව යනු බාහිරව හෝ අභ්‍යන්තරව හෝ රාජ්‍යයට සිදු වන උපද්‍රවයක දී ජනතා සුරක්ෂාව සඳහා පෙනී සිටින නිල ලත් සන්නද්ධ මිනිස් බළකායකට ය. 2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයකි. එහි දී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි. හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියෙකු මිය යෑම මා නොපැවතුවෙමි. නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයෙකු වීමට මා උත්සුක වූයේ නැත. එහි ප්‍රතිඵලය රට අපායක් නොවීම ය. එයට උදාහරණ රටට ආසන්න රාජ්‍යවල වර්තමානයෙහි පැන නඟින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි ය. බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පවා දීමේ අශ්සීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලෙකු වීමට හෝ මට පහත් ආශාවල් නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අග්‍රාමාත්‍යතුමා උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවද්දී ගුවන් සංක්‍රමික බළකාය යොදවා මා අග්‍රාමාත්‍යතුමාගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද? දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කරලීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද?
එහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපා පිළිබඳ රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසි සහගත විය. තරු හතරක ජෙනරාල්වරයෙකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාධිපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාධිපති පදවියෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් සිදු කළේ ය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාධිපති පදවියෙන් සමු ගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිත ව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින යාමයක දී ය.
මාගේ විනයධර බව හා නීති ගරුක බව පිළිබඳ ප්රශස්ත සෑහීමකට පත් වන වර්ෂ 2019 සහ වර්ෂ 2022 මෙරට පාලනය කළ රාජ්‍ය නායකයන් මා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය උපදේශක පදවියට පත් කළේය. එසේම ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපති පදවිය පිරිනැමීමට සහ හරිත කෘෂිකර්ම ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයුම් ප්‍රධානි නිළය පිළිගැන්වීමටද පෙලඹිණි.
මා හමුදා සේවයෙහි නොකැළැල් හමුදා නිල දරුවෙකු ව වසර පහළොවක සේවා කාලයක් සමාප්ත කිරීම උදෙසා උරුම වන උත්තම සේවා පදක්කම ද හමුදා සේවයෙහි නිකැළැල් හමුදා නිල දරුවෙකුව වසර විසි පහක සේවා කාලයක් සමාප්ත කිරීම උදෙසා අතිශය දුලබ ව උරුම වන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම ද සංග්රාම භූමියේ දී සිය ජීවිතය ගැන නොතකා ස්වේච්ඡාවෙන් ප්‍රාණ පරිත්‍යාගීව සටන් කිරීම උදෙසා ජීවත්ව සිටින හමුදා නිල දරුවෙකුට උරුම වන වීර වික්‍රම විභූෂණ පදක්කම ද රණ වික්‍රම පදක්කම ද රණශූර පදක්කම ද මෙරට යුද්ධ හමුදා නිල දරුවෙකුට පොදුවේ ලබා ගත හැකි සියලු ම පදක්කම් සහ සම්මාන ද එකී පමණක් පදක්කම් එක් විටකට වැඩි වාර ගණනක දී ද ලබා ගෙන මෙරට ත්‍රිවිධ හමුදාවෙහි ම සිටින සංඛ්‍යාත්මකව විශාලතම පදක්කම් ප්‍රමාණය ළය මත පලඳන ලංකා හමුදා වංශකතාවේ එකම හමුදා නිල දරුවා වීමට ද හමුදා ඉතිහාසයෙහි පරිපූර්ණ වසර 41ක දීර්ඝතම හමුදා සේවා පරිචය නිමා කළ ඓතිහාසික හමුදා නිල දරුවා වීමට ද මා භාග්‍යවන්ත වී ඇත.
“මා හමුදා රාජකාරිය සමාප්ත කර නිල කබාය ගලවා යළි නිවහනට යන දවසක මේ සියලු අබිමන් සම්මාන යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන්ට උපහාර පිණිස විරුවර සොහොන් කොත මත පලඳා යමි.“
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
WWV RWP RSP VSV USP ndc psc MPhil