මහනුවර පාසල් 50කට නිවාඩු – මත්පැන් හා මස් අලෙවිසල් වැසේ

ශ්‍රී දළදා වන්දනාව නිමිත්තෙන් මහනුවර නගර සීමා බලප්‍රදේශයේ සහ ඊට ආසන්නයෙන් පිහිටි පාසල් 50කට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා පවසයි.

ආරක්ෂක කටයුතු සඳහා මහනුවරට පැමිණෙන පොලීසියේ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නවාතැන් ගැනීමටත් දළදා වන්දනාව සඳහා පැමිණෙන ආබාධිත හා වැඩිහිටි අය සඳහා අවශ්‍යතාව මත නවාතැන් ලබා දීමටත් මෙම පාසල් යොදා ගැනීමට නියමිත බව ඒ මහතා කීය. මේ අනුව මෙම මස 21 සිට 25 දක්වා අදාළ පාසල් වසා තැබෙන බවත් දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන කිසියම් හෝ හේතුවකින් දීර්ඝ කළහොත් මෙම පාසල් තවදුරටත් වසා තැබෙන බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

පාසල් වසා තැබීම නිසා සිසුන්ට සිදුවන පාඩුව මඟ හැරවීම සඳහා එම පාසල් යළි ආරම්භ කිරීමෙන් අනතුරුව පස්වරුවේ වැඩිපුර පැයක කාලයක් විවෘත කර තැබීමට තීරණය කර තිබෙන බවත් පාසැල් වෑන් රථ රියැදුරන් ද ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව දළදා වන්දනාව පැවැත්වෙන 18 සිට 27 දක්වා කාල සීමාව තුළ මහනුවර නගර සීමා බලප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් හා මස් වෙළෙඳසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව හා මහනුවර මහ නගර සභාව තීරණය කර තිබේ.

අසේල කුරුළුවංශ

Leave A Comment