මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක් – ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයෙන්

මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් අදාළ මුදල සහන ණයක් ලෙස ලබා දීමට රජය මැදිහත්වී කටයුතු කරනු ඇති බවත් ලේකම්වරයා කියයි.

ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයේ ගබඩා මඟින් සැපයෙන බවත් දිස්ත්‍රික්ක කිහිපයක ගබඩා මේ වෙනුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතුවලට යොමු කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පැවැසුවේ මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ මාෆියාව තුරන් කිරීම මේ කටයුතුවල අ‌රමුණ බවයි.

“ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ සහල් හා වී මෝල් හිමියන්ට ලබා දෙන ණය මුදල මින් ඉදිරියට, කන්නයක ගොයම් කැපීමට පෙර ලබා දෙන්නට අප කටයුතු යොදා තිබෙනවා. මෙය ඔවුන්ගේ වී ගබඩා ධාරිතාව අනුව ලබා දෙනවා. එවිට ගොයම් කැපෙන අවස්ථාවේදීම වී මිලදී ගෙන ඒවා කඩිනමින් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කරන්නට ඔවුන්ට හැකි වෙනවා. ඒ වගේම වී නිෂ්පාදනයෙන් 10%ක් ආරක්ෂිත තොග ලෙස වී අලෙවි මණ්ඩලයේ ගබඩාවන්හි තබා ගැනීමේ ක්‍රමවේදයක් මෙම මහ කන්නයේ සිට ආරම්භ කෙරෙනවා. රජය වී ගොවීන්ට විශාල සහනාධාර ප්‍රමාණයක් ලබා දෙනවා. ඔවුන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබා දීමට රජය මැදිහත්වීම දැන් සිදුවනවා. මහා පරිමාණ හාල්මෝල් හිමියන් දැඩි බලපෑමක් සිදු කරන බව කවුරුත් පිළිගන්නා කරුණක්. නමුත් අප මේ වැඩපිළිවෙළ තුළින් සාධාරණ මිලකට පාරිභෝගිකයාටද සහල් ලබාදීමේ අවස්ථාව උදාකර දෙනවා‘‘ යැයි ද වික්‍රමසිංහ මහතා පවසයි.

(ගොවිමිණ TW)

Leave A Comment