මහ ඡන්දයට තරග කරන ප්‍රථම ආබාධිත කාන්තාව

දෙදහස් දහඅටේ අප්‍රේල් 28 වැනි දින අමෙරිකාවේ සෙනෙට් සභාවට විශේෂ දිනයක් විය. එය අමෙරිකන් ඉතිහාසයේ සටහන් වී ඇත්තේ අමෙරිකානු මන්ත්‍රීවරියක් බිලිඳියත් සමඟ සෙනෙට් සභාවට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසය. ඇය නමින් ටැචී ඩක්වර්ත්ය. 1968 මාර්තු 12 වැනි දින තායිලන්තයේ උපන් ඇය ලෝක දේශපාලන ඉතිහාසයේ සටහන්ව ඇත්තේ අමෙරිකාවේ ආබාධිත ප්‍රථම මන්ත්‍රීවරිය ලෙසය.

මෙවර ලංකාවේ මැතිවරණ ඉතිහාසය උඩුයටිකුරු කරමින් ආබාධිත තරුණියක් මහමැතිවරණයට ඉදිරිපත් වී ඇත. ඇය නමින් හෂිනි චන්ද්‍රසිරිය. උප්පත්තියෙන්ම ආබාධිත දැරියක නොවුණු ඇය මේ ආබාධයට ලක්වීමට ප්‍රථම ජිම්නාස්ටික් ශූරියක ලෙස පාසලේ නමක් දිනා සිටියාය. නටන්න, චිත්‍ර අඳින්නට මෙන්ම කරාටේවලටද ‘සූර’ බවක් දැක්වූවාය. ජිම්නාස්ටික් ස්ටේඩියම් එකේ දුව පැන ඇවිදින්න හීන මැවූ ඇයට සිදු වූයේ අවුරුදු නවයේදී පාදයක ඇතිවූ වේදනාවක් නිසා රෝහල්ගත වන්නටය.

“මට හැදිලා තිබුණේ දසලක්ෂයකින් කෙනකුටවත් හැදෙන්නැති ලෙඩක්. ඇටකටුවලින් ඕන තැනක් පුපුරන්න පුළුවන්. දැනට අස්ථි කොටස් 49ක් බද්ධ කරල තියෙනවා. උකුල් ඇටේ තුනට කැඩිල තියෙනවා.”

වෛද්‍යවරු හෂිනිගේ මවුපියන්ට උපදෙස් දී තිබුණේ ඇයව ඇඳෙන් බස්සවන්නවත් එපා කියාය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය කිසි දිනෙක දරුවකු පිළිසිඳ නොගත යුතු බවය. වෛද්‍ය නිර්දේශ වූයේ හෂිනිගේ ආයු කාලය වසර 30ක් තරම් කෙටි බැවින් ඇයව සතුටෙන් තැබීමටයි. ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගයට බෙහෙත් නැත. 1994 අප්‍රේල් 16 උපන් හෂිනි 2024 වසරේ අප්‍රේල් 16 දින තම 30 වැනි උපන් දිනය සමරමින් ඒ සියලු අනාවැකි අසත්‍ය බවට පත් කළාය.

හෂිනි රෝගාතුර වන විට චන්න – උපුලි නැටුම් කණ්ඩායමේ දක්ෂතම නර්තන ශිල්පිනිය වූවාය. 2010 දී හෂිනි ඇතුළත් කෙරෙන්නේ කොළඹ මහ රෝහලේ දෙවැනි වාට්ටුවටය. එහිදී ඇගේ අතපය ඇතුළු මුළු සිරුරම වැසෙන ලෙස ‘ගල් බැන්ඩේජ්’වලින් ඔතන ලදි. ඇයට මූත්‍රා පිට කිරීමට සහ මළපහ පිට කිරීමට සිදුරු 2ක් පමණක් විවෘත කර තබන ලදි.

“මට බෙල්ල විතරයි හොලවන්න පුළුවන් වුණේ. මම එහෙම ඉඳලත් චිත්‍ර ඇන්දා”

මාස 27කට පසු ගල් බැන්ඩේජ් කපා ඉවත් කරන ලදි. වෛද්‍ය උපදේශය වුණේ පෙණහලු, වකුගඩු සහ හෘදය ආශ්‍රිත අස්ථි හානියට පත්වුවහොත් මරණය සිදුවිය හැකි බැවින් ඇඳෙන් බැස ඇවිදීමෙන් වළකින ලෙසය.

“මම තාත්තා එක්ක කතා කර තීරණයක් ගත්තා. මළමිනියක් වගේ ඇඳට වෙලා ඉන්නව ද නැත්නම් ජීවත් වෙන ටික කාලෙත් සමාජයට සේවයක් කරනවද“ කියලා.

හෂිනි පෞද්ගලිකව අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළින්ම සමත් වූවාය. උසස් පෙළ විභාගයට සූදානම් වන විට ඇගේ මව සිටියේ වකුගඩු රෝගී තත්ත්වයකය. විභාගය නිමා වෙද්දි ඇගේ මව ජීවිතයට සමුදී ඇගෙන් වෙන් වූ බව ඇය පවසන්නේ දැඩි වේදනාවෙනි.

“ඊට පස්සේ තමයි මම Flying Colours Foundation එක පටන් ගත්තේ. සංවිධානය හදන්න ආධාර ඉල්ලුවොත් ආබාධිත බව විකුණන් කනවා වගේ නිසා තාත්තත් එක්ක කතා වෙලා නෑදෑයෝ එකතු වෙලා සංවිධානය හදන්න උදවු වුණා.”

හෂිනිගේ චිත්‍රවලට ජාත්‍යන්තර සම්මාන ලැබූ අවස්ථා බොහෝය. ඇගේ චිත්‍ර අධික මිලකට අලෙවි වුවත් එම මුදලින් සතයක්වත් තමන්ගේ පරිභෝනයට ගත්තේ නැත. චිත්‍ර විකිණීමෙන් ලත් සියලු මුදල් ඇය වියදම් කළේ පැල්පත්වාසී අසරණ දරුවන් සහ ආබාධිත දරුවන් වෙනුවෙනි. හෂිනිට සිය පෙම්වතා හමුවන්නේ ද සමාජ සත්කාර අතරේ නියැළෙමින් සිටිද්දීය. ඔහු මුදිත ප්‍රභාත් බණ්ඩාරය.

“මහත්තයා පවුලෙ එකම දරුවා. ඒ නිසා එයාගේ තාත්තට ප්‍රශ්නයක් වුණා දරුවෙක් හදන්න බැරි කෙල්ලෙක් බඳින එක. ඒත් අන්තිමට තාත්තා ආශීර්වාද කළා.

බඳින්න කලින් දොස්තරගෙන් ඇහුවාම කලින් කියපූ දේමයි කිව්වේ. ඒත් මම 2016දී ප්‍රභාත් එක්ක විවාහ වුණා. දරුවෝ හදන්න බෑ කිව්වට දරුවෙකුත් මම හැදුවා. දැන් අපේ පුතාට අවුරුදු හයයි. මාව බලා ගත්තේ මහත්තයාගෙ මවුපියන් සහ නෑදෑයෝ තමයි. අපේ තාත්තා ඉන්නේ පාදුක්කේ. මම ඉන්නේ මහත්තයාගේ දෙමටගොඩ ගෙදර.

හෂිනි පවසන්නේ මෙරට ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් අවසන් වරට සංගණනයක් සිදුකර ඇත්තේ වසර 12කට පෙර බවය. හෂිනි පවසන්නේ ලංකාවේ ආබාධිත ප්‍රජාව ගැන එතරම් සැලකිල්ලක් නැති බව එයින් තහවුරු වන බවය.

“ඉතිං දේශපාලනයට එන්න හිතුවේ මොකද?” මම හෂිනිගෙන් විමසුවෙමි.

“දොස්තරල කියපු විදිහට ඇඳ උඩට වෙලා හිටිය නම් මේ මුකුත් කරන්න වෙන්නේ නැහැ. මම කල්පනා කළේ දවස් 10ක් විතරයි නම් ජීවත් ව” හෂිනි කියන්නේ ආබාධිත අයකු පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් ආබාධිත ප්‍රජාවට දැඩි අවාසියක් වන බවය.

“ආබාධිත අයට නීති හදන්නේ කිසිම ආබාධයක් නැති අය. මාගේ මහත්තයත් ආබාධිත කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මං වගේ ආබාධිත කෙනෙක් හිටියොත් අපේ ප්‍රජාව වෙනුවෙන් හඬක් නගන්න පුළුවන්. මොකද ආබාධිත අපට තියෙන ප්‍රශ්න ආබාධිත නැති අයට තේරෙන්නේ නැහැ.

මට දැන් අවුරුදු 30ක්. අපි ඉස්කෝලෙ යන කාලෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. දැන් මගෙ පුතා ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නෙත් තාම ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. මේ රට එක තැන පල්වෙනවා. රටේ ප්‍රශ්න විවිධ කෝණවලින් බලළ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් නිර්මාණශීලී නායකයෙක් මේ රටේ බිහි වුණේ නැහැ.”

වයස 10 සිට ව්‍යවසායිකාවක වූ හෂිනි තමන් ඇඳි චිත්‍ර විශේෂ මිල ගණන් යටතේ විදේශයන්ට අලෙවි කර ඒ මුදලින් පෞද්ගලිකව බොහෝ ව්‍යවසායකයන් ලෙස නැගී සිටින්නට උදව් කළාය. ආබාධිත විම ඇය සලකන්නේ ආශීර්වාදයක් ලෙසය.

“ඉංග්‍රීසි උගත් රැකියා විරහිත උපාධිධාරි සංගම් තියෙනවා. ඕනෑම කෙනකුට සහජ කුසලතාවෙන් ව්‍යවසායකයකු වෙන්න පුළුවන්.

“මම සර්වජන බලයෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ආබාධිත අයට වගේම කාන්තාව වෙනුවෙන් රටේ අවශ්‍ය ප්‍රතිපත්ති කිහිපයක්ම ක්‍රියාත්මක කරගන්න. අතපය හතර හොඳට තිබිලත් කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු අතර ආබාධිත වෙලත් ලෝකය ජයගන්න පුළුවන් බව මම ප්‍රායෝගිකව ඔප්පු කර තියෙනවා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත්වුණදාට ආබාධිත වෙලත් ලෝකය ජයගන්න අයට ඒක ලොකු හයියක් වේවි.” හෂිනි අපට අවසන් වශයෙන් පවසන්නීය.

ඡායාරූප – සුදත් මලවීර

වජිර ලියනගේ

Leave A Comment