
මානසික රෝග සුව වූ කාන්තාවන් 300ක් වසර ගණනක් රෝහලේ
- CNL Reporter
- March 30, 2025
- පුවත්
- මානසික රෝග
- 0 Comments
මානසික රෝග ප්‍රතිකාර ලබා සුව වුවත් ඥාතීන් විසින් නිවාසවලට රැගෙන නොගිය කාන්තාවන් 300ක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ මුල්ලේරියා අතරමැදි නිවාසවල රැඳී සිටින බව වාර්තාවේ.
මෙම කාන්තාවන් මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා සුව වී සිටිය ද වසර ගණනාවකින් ඔවුන් බැලීම සඳහා කිසිදු ඥාතියකු පැමිණ නොමැති බව බලධාරීහු සඳහන් කරති.
මෙම පිරිස් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට විශාල මුදලක් වැයකිරීමට මානසික සෞඛ්‍ය විද්‍යායතනයට සිදුව තිබේ.
එසේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ද කිසිදු ඥාතියකු නොමැති පුද්ගලයෝ අනූ දෙනකු (90) පමණ රැඳී සිටිති. මෙම පුද්ගලයන් රඳවා තබා ගැනීමට රෝහල් භූමියේ ගොඩනැගිලිවල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද රෝහල් බලධාරීහු පෙන්වා දෙති.
දැනට මෙම භුමිය තුළ ස්ථාපිත ගොඩනැගිලි ජරාජීර්ණව පවතින අතර ඒවායෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම මන්දගාමී තත්ත්වයක පවතියි.
එසේම මෙම ඥාතීන් නොමැති පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, සහ ඇඳුම් පැලඳුම්වල හිඟයක් ද පවතියි. එම නිසා මෙම පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් ලබාදීමට කැමැති අය වෙතොත් රෝහලට පැමිණ ඒවා ලබාදීමට හැකියාව පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම ප්‍රකාශ කරයි.
( aruna | වරුණි පෙරමුණ)