මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්

සෑම පැය 04 කට ම වතාවක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස්  ජීවිතයක් අහිමි වන අතර, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු සඳහන් කළේ මාර්ග ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් අද (29) කොළඹ දී සංවිධානය කර තිබූ  පා ගමනට එක් වෙමිණි.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා  ක්‍රමවත් සහ ස්ථීරසාර අඛණ්ඩ වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් මාර්ග අනතුරුවලින් වටිනා ජීවිත අකාලයේ අහිමිවීම අතිශය ශෝචනීය තත්ත්වයක් බවයි. විශේෂයෙන්ම මෙහි දී මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර මෙන් ම  මාර්ග පද්ධතිය ද ඉතා දියුණු තත්ත්වයකට පත්වෙමින් පවතින අවධියක එම ක්ෂේත්‍රයන් හා සළකා බැලීමේ දී රිය අනතුරු සහ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධව විද්‍යාත්මක සොයාබැලීමක් හා ඒ හා සම්බන්ධ පර්යේෂණ වැඩසටහන් හෝ අධ්‍යයනයන් මෙරට සිදු ව නොතිබීම කනගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා පැවසී ය.

මාර්ග ආරක්ෂාව සහ මහමඟ අනතුරු වැළැක්වීම “Road Safety and Accident Prevention” යන්න තේමා පාඨය කර ගනිමින් පැවැති මෙම පා ගමන අද (29) උදෑසන කොළඹ ගාලු මුවදොරින් ආරම්භ ව ලිබර්ටි වටරවුම ඔස්සේ  විහාරමහාදේවී උද්‍යානයට පැමිණීමෙන් අනතුරුව මහජනතාව දැනුවත් කිරීමේ උත්සව සභාවකින් පසු ව අවසන් කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය, මාර්ග රථවාහන අනතුරු වැළැක්වීම පිළිබඳ SLMA විශේෂඥ කමිටුව, ආරක්ෂක අංශ සහ  ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් එ්කාබද්ධව  මෙම පාගමන සංවිධානය කර තිබුණි.

Leave A Comment