rohana hettiarachchi

මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් – රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම  ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.

“ගමට වැඩක් කළ හැකි සභිකයෙකු පත්කර ගැනීමේදී දේශපාලන පක්ෂයක් වැදගත් වෙන්නේ නැහැ. නමුත්, අවාසනාවට මේ ක්‍රමය පැමිණියේ දේශපාලන පක්ෂත් එක්ක. නමුත් මගේ මූලික අදහස අපි කවදා හෝ පළාත් පාලන ක්‍රමය පක්ෂ දේශපාලනයෙන් ගළවා ගත යුතුයි. නමුත් පළාත් පාලනය ක්‍රියාත්මක වෙන්නේ බල ව්‍යුහයේ පහළම ඒකකය විදිහටයි. ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවට, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන බල ව්‍යුහය තමයි පළාත් පාලනය හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි බලය අත්හදා බලන්න, මැතිවරණ ක්‍රම අත්හදා බලන්නත් මේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒක නොවිය යුතු කාරණයක් ලෙස මම දකිනවා. රෝහණ හෙට්ටිආරච්චි පළාත් පාලනය හා බල අරගලය සම්බන්ධ සිය මතය පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ය.

පළාත් පාලන ආයතන යනු පොදුවේ ගත්විට ඉතාම බලගතු ආයතනයකි. උදාහරණයක් ලෙස මුදල් ඉපයීමට සහ මුදල් වැය කිරීමට මධ්‍යම ආණ්ඩුව හැරුණු විට බලය ඇති එකම ආයතනය වන්නේ පළාත් පාලන ආයතනයි. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා අඛණ්ඩව සම්බන්ධ වන රාජ්‍ය ආයතනය ද පළාත් පාලන ආයතන වේ. නමුත් අවාසනාවන්ත ලෙස පළාත් පාලන ආයතන දේශපාලන බල ව්‍යුහයේ හා අරගලයේ පහළම ලක්ෂය තුළට කේන්ද්‍රගත වී නොවැදගත් ආයතනයක් ලෙස නාමකරණය වී තිබේ.

පහළම ඉණිමඟ

දේශපාලන බල අරලයේ පහළම ඉණිමඟ ලෙස පළාත් පාලන ආයතන පත්කර ගෙන තිබෙනවා. ඒකේ වරදක් නොමැති වුවත් අතිෂය නරක ලෙස පළාත් පාලන ආයතන දේශපාලනීකරණය වෙලා තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ද නාමයෝජනා ක්‍රියාවලියේ සිට මේ දේශපාලනීකරණය අපි දැක්කා. ඒකට හොඳම උදාහරණය තමයි මෙවර නාමයෝජනා භාර දුන් පසු නාමයෝජනා පත්‍ර 400කට අධික සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වුණා. ඒකට හේතුව තමයි ඇතැම් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කඩිමුඩියේ නාමයෝජනා පත්‍ර භාර දීම. ‘මෙහෙම වුණේ ඇයි ? කියන කාරණය ගැන අපි සොයා බැලිය යුතුයි. ඒකට හේතුව තමයි මීට පෙර තිබුණ දේශපාලන ප්‍රවණතාවය දැන් වෙනස් වෙලා තිබෙනවා. මීට පෙර නාමයෝජනා ලබා ගැනීමට මිනිස්සු, දේශපාලන පක්ෂ වටා, ආසන සංවිධායකවරුන් වටා පෙළ ගැසී සිටියා. නමුත් දැන් තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙලා. අදාළ පළාත් පාලන ආයතනවලට නාම යෝජනා ලයිස්තු සම්පූර්ණ කර ගැනීමට අපේක්ෂකයින් සොයා ගැනීම අසීරු තත්ත්වයක් බවට පත්වෙලා තිබෙනවා රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ වර්තමානය වන විට දේශපාලන පක්ෂවලින් නාම යෝජනා ඉල්ලා සිටීමේ උනන්දුව පැහැදිලිව අඩුවී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි බවයි.

දේශපාලන පක්ෂවලට, කණ්ඩායම් නායකයින්ට අපේක්ෂකයින් සොයා ගෙන යා යුතු තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා රෝහණ සිය නිරීක්ෂණ හෙළිකරමින් පෙන්වා දුන්නේ ය.

තරුණ කෝටාවත් එක්ක මේක තව දුරටත් තීව්‍රර වෙලා තිබෙනවා. තරුණයින් සහ කාන්තාවන් වෙනුවෙන් කෝටාවක් වෙන් කළ ද මේ වන විට මේ කෝටාව සම්පූර්ණ කර ගැනීම සඳහා අපේක්ෂයින් සොයා ගැනීම ද දේශපාලන පක්ෂවලට අභියෝගයක් වී ඇති බව රෝහණ හෙළි කළේය.

බල අරගලය හේතුවෙන් ඉහත තත්ත්වය තව දුරටත් සංකීර්ණ වී ඇති බව පෙන්වා දුන් රෝහණ තවත් කරුණක් ද මෙහිදී හෙළි කළේය, ප්‍රාදේශීය  නායකයින්ගේ කණ්ඩායම් නායකයින්ගේ කැමැත්ත මත තමයි මේ නාම යෝජනා ලැබෙන්නේ. පළාත් පාලන ආයතන පිහිටුවීමේ අරමුණට සපුරාම පටහැනි ආකාරයට තමයි නාම යෝජනා ලබාදීම සිදුවෙන්නේ. මේ හේතුව නිසා මම මුලින් සඳහන් කළ ආකාරයට අපේක්ෂක ලැයිස්තුව පවා සම්පූර්ණ කර ගත නොහැකි තත්ත්වයට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පත්ව තිබෙනවා.

සාම්ප්‍රදායික දේශපාලන බල අරගලයෙන් ඔබ්බට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ දී කරුණු කිහිපයක වැදගත්කම රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී අවධාරණය කළේය.

අපේක්ෂකයා සහ දේශපාලන පක්ෂ ක්‍රියා කරන ආකාරය අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. එසේම ඡන්ද දායකයාගේ භූමිකාව ද මෙහිදී අතිෂය තීරණාත්මකයි. මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවනු ලබ ආයතන, මැතිවරණ කොමිෂම, පොලිසිය ආදි අදාළ ආයතනවල ක්‍රියාකාරීත්වය ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පසුබිම සැකසීමේදී ඉතාම වැදගත් වෙනවා.  මෙහිදී ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය කිසිසේත්ම නොසලකා නොහැරිය යුතුයි , රෝහණ පැහැදිලි කළේය. මෙහිදී ඔහු දැඩිව අවධාරණය කළේ මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් කොට සැලකිය යුතු බවයි.

“සාම්ප්‍රදායික බල අරගලයෙන් ඔබ්බට ගිය පළාත් පාලන මැතිවරණයක් ගැන අපි බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. ඒ වගේම නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලු පාර්ශ්වයන් වගකීමෙන් හා වගවීමකින් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” රෝහණ හෙට්ටිආරච්චි යළි අවධාරණය කළ්ය.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ සංවාද මාලාවේ ‘බල අරගලයෙන් ඔබ්බට – පළාත් පාලන මැතිවරණයේ දී අපේක්ෂා කරන වගවීම’යන තේමාව යටතේ පවත්වනු ලැබූ සංවාදය ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත සංෂිප්ත ලිපියකි.)

Leave A Comment