
මිල අධික ප්රජාතන්ත්රවාදය හා ජන්ද භාවිතයේ විරෝධාභාසය
- Sujeewa Senerath
- April 29, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- election
- 0 Comments
(ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
නෛතික අභියෝග මඟින් ගිලගත් ජන්ද විමසීම් ප්රචාරක සමය
පළාත් පාලන ජන්ද විමසීම අදවන විට අවසන් අදියරට පැමිණ තිබේ. එය වෙනදා තරම් මෘදු ගමනක් නොආ බවනම් ස්ථිරය. මැතිවරණ කොමිෂන් සභාව පළමුව අදහස් කලේ පළාත් පාලන ආයතන 339 ක් සඳහා ජන්ද විමසීම පැවැත්වීමටය. එහෙත් නිමක් නැති වාර්තාගත නඩුකර 178ක් විසින් කොමිෂන් සභාවේ කාර්යභාරය තීව්ර කරන ලදි. එමඟින් දේශපාලන පක්ෂවල ආතතියද අසීමාන්තික විය. මුද්‍රණද්වාරයෙන් පිටවූ ලිපි ලේඛන ප්‍රමාණයද විශාලය. එහෙත් ඒවා සමහරක් ද නැවත මුද්‍රණය කල යුතු විය. එනයින් බලන කල පළාත් පාලන ආයතන ජන්ද විමසීම යනු සැබවින්ම බාලගිරි දෝෂයට හසු වූ ජන්දයක් බව දිස් වේ. එහෙත් අවසන නැවත මුලටම පැමිණ ඇත. වැරදි තාරුකා මණ්ඩලය පසුපස ගිය ……ජාතකයේ ගැල්කරුවා වැනිය. දැන් නැවතත් ආයතන 339 සඳහා ම ජන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් ඇත්තේය. ඒ අනුව ගෙවී ගිය කාලයේ නඩුකර පසුපස යනවා විනා අපේක්ෂකයන් හට ප්‍රචාරයක් සඳහා ඉඩක් නොතිබිණි. මෙම ගෙවී ගිය කාලය ගැන කෙටි අදහසක් දක්වන්නේ නම් කිය හැක්කේ පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ පූර්ව ප්රචාරක කාල සමය රාහු ගිලගත්තා සේ නෛතික අභියෝග මඟින් ගිලගත් බවයි.
පළාත් පාලන ආයතන ජන්ද විමසීම ගැන කතා කරන ලද්දේ එය අදවන විට අවසාන අදියර වෙත ලඟා වෙමින් පවතින බැවිනි. එහෙත් අප පසුගිය සටහන් දෙකෙහිදීම සාකච්ජා කරන ලද්දේ මෙරටේ මැතිවරණ වියදම් නියාමන නීතියේ ගමන් මඟ හා ඒ අශ්‍රිතව පසුගිය ජනාධිපතිවරණයේදී ,ජනාධිපතිවරණ අපේක්ෂකයන් කෙතරම් මුදල් ප්‍රමාණයක් වැය කොට ඇතිද යන කරුණයි. එහිදී අපගේ අවධානය යොමු වුනේ සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ඔවුන් විසින් සිදුකල මැතිවරණ ප්රචාරයේ පිරිවැය ගැනයි. මෙවර අපගේ අවධානය යොමුව ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු ජන්ද විමසීම කෙරෙහිය.
පාර්ලිමේන්තු මැතිවරණයේ සම්ප්‍රදායික මාධ්‍ය භූමිකාව
නිමාවූ පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී Institute for Democratic & Electoral Studies (IRES) සංවිධානය ජනාධිපතිවරණයේ සේම දේශපාලන පක්ෂ /ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂක අපේක්ෂිකාවන් කෙතරම් මුදල් ප්‍රමාණයක් තමන්ගේ ප්රචාරක කාර්යයන් සඳහා යොදන්නේ දැයි යන්න ගැන උනන්දුවකින් විමසුවේය. එහිදී සතියේ සහ සති අන්ත පුවත්පත් 21 ක් , රේඩියෝ චැනල් 04 ක් සහ රුපවාහිනී චැනල් 08 ක් සමස්ත පුර්ව මැතිවරණ ප්රචාරක කාල සමයේදීම නිරීක්ෂණයට ලක්කළේය. එය ඇරඹුණේ වසර 2024 නොවැම්බර් මස 10 වැනිදින සිටයි. ඒ අනුව පාර්ලිමේන්තු ජන්ද විමසීම පැවැත්වුනේ 2024 නොවැම්බර් මස 14 වැනි දින. එම දින වකවානුවලට අනුව නිහඩ කාලය ඇරඹීමට ප්‍රථම නොවැම්බර් 11 වැනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා හරියටම මාසයක පමණ කාලයක් මාධ්‍ය 33ක් පමණ මෙම දිපව්‍යාප්ත සමීක්ෂණයට හසු කරගත්ත.
විපක්ෂ නායකවරයාගේ සම්ප්‍රදායික මාධ්‍ය නැඹුරුව
ඒ අනුව සමස්තයක් ලෙස එලෙස වඩාත් විධිමත්ව සහ සංවිධානාත්මකව සිදුකරන ලද ඉහත මාධ්‍ය නිරීක්ෂණයට අනුව මෙරටේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන් 8888 ක් අතරින් වැඩිම මුදලක් වැය කොට තිබුනේ සජිත් ප්‍රේමදාසය. එමෙන්ම එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නම් දේශපාලන පක්ෂය (United Democratic Voice -UDV) වැඩිම මුදලක් වැය කොට තිබු දේශපාලන පක්ෂය වන අතරේ වැඩිම මුදලක් උපයා තිබු පුවත්පත වුයේ ලංකාදීප පුවත්පතය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම දෙරණ TV වැඩිම මුදලක් උපයා ගත් මාධ්‍ය ජාලය බවට පත්ව තිබුනේය. සමස්තයක් ලෙස ගෙවීගිය මසක පමණ පුර්ව මැතිවරණ ප්රචාරක සමයේ පළව තිබු මුළු අපේක්ෂක සහ දේශපාලන පක්ෂ දැන්වීම් ප්‍රමාණය 15,869 කි.
තෙවනියට වැඩිම වියදමක් කල දේශපාලන පක්ෂය ඉතිහාසයේ වැඩිම අසුන් සංඛ්‍යාවක් (159 ක් ) මෙහිදී ආරක්ෂා කරගෙන තිබෙනවා. එහෙත් අනෙක් දේශපාලන පක්ෂ වල තත්වය එතරම් හොඳ නැහැ.කෙසේ වෙතත් මෙහිදී හොඳම වාසනාවන්තයා වගේම අවාසනාවන්තයා ලෙස හඳුනාගත හැක්කේ රන්ජන් රාමනායක. ඔහු United Democratic Voice (UDV) පක්ෂයේ නායකයා . ඔහු අවාසනාවන්ත වන්නේ වැඩිම වියදමක් දරලත් පාර්ලිමේන්තුවට යන්න බැරිවීම .වාසනාවන්තයා වන්නේ එතරම් මුදලක් පක්ෂයෙන් වියදම් කලත් ඔහුගෙන් එකම රුපියලක් හෝ වැය නොවීම (මෙය අපගේ නිරීක්ෂණයක් පමණි). එවැනි ආකාරයක සුහුරු මැතිවරණ කැම්පේන් කිරීමේ වාසනාව සෑම අපේක්ෂකයෙකුටම ලැබෙන්නේ නැහැ. මෙවර අනෙක් සුවිශේෂත්වය වන්නේ වෙනදා මාධ්‍ය සඳහා බොහෝ වියදම් කරන Sri Lanka Podujana Peramuna මෙවර ඉතා අඩු මුදලකින් සැහීමකට පත්වීම. IRES සංවිධානය මෙලෙස සිදුකල විධිමත් නිරීක්ෂණයෙන් ඔබ්බේ ලියුම්කරුගේ පෞද්ගලික අදහසක් දක්වන්නේ නම් ඒ පිළිබඳව පැවසිය හැක්කේ මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාතිශය අඩු මුදලකින් සෑහීමකට පත්වීම හේතු කිහිපයක් නිසා සිදුවිය හැකියි.
01, ඔවුන් සතු රහසිගත අරමුදල් ප්‍රමාණය අසීමිතයි. එහෙත් පැරදෙන ජන්දයකට ඒ සා විශාල මුදලක් පරදුවට තබන්න තරම් ඔවුන් මෝඩ නැහැ.
02, ඒ සියලු මුදල් නාමල් රාජපක්ෂ මහතාගේ අනාගත ජනාධිපතිවරණ කැම්පේන් එක සඳහා සුරක්ෂිතව තබාගෙන සිටිනවා
03, රට්ටුන් කියා ඇත්තේ අසද්ධ බොරු. ඔවුන් සතුව එදිනෙදා ජිවත් වීමට මිසක් තැන්පතු ධනයක් නැහැ.
දේශපාලන පක්ෂ වියදම් වාර්තාව (සම්ප්‍රදායික මාධ්‍ය)
- එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ (UDV)-රුපියල් 243,426,702.55
- සර්වජන බලය – රුපියල් 192,682,434.06
- ජාතික ජනබලවේගය (NPP)-රුපියල් 176,694,063.35
- ජාතික සංවර්ධන පෙරමුණ -රුපියල් 12,553,235.00
- සමඟි ජන බලවේගය – රුපියල් 2,496,582.00
- එක්සත් ජාතික පක්ෂය (UNP) -රුපියල් 1,601,246.53
- ජනසෙත පෙරමුණ – රුපියල් 619,429.20
- එක්සත් ජාතික නිදහස් පෙරමුණ -රුපියල් 492,060.00
- දෙවන පරපුර – රුපියල් 355,770.00
- ඉලංකෙයි තමිල් අරසු කච්චි – (ITAK) -රුපියල් 347,312.00
කාන්තාවන් අහිමි මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක්
සමස්ත සම්ප්‍රදායික මාධ්‍ය ප්රචරයේදී වැඩිම වියදමක් දරා ඇති අපේක්ෂකයන් සහ අපේක්ෂිකාවන් එක පෙළට ගෙන ඉන් 100 දෙනෙකුගේ පමණ ලැයිස්තුවක් IRES ආයතනය සකස් කරන ලද අතර එහි දිස්වන ප්‍රමුඛතම චරිතය වූයේ සජිත් ප්‍රේමදාසයි. ඔහු සමගි ජන බලවේගයේ නායකයා. ඔහු වැය කොට ඇති මුදල රුපියල් 109,424,093.31ක් වන අතරේ 100 වෙනි තැන හිමිව ඇත්තේ දොස්ස්තර චමීර යාපා අබේවර්ධනටය. ඔහු තරඟ කළේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙනි. දොස්තර චමීර යාපා වැය කොට ඇති මුදල රුපියල් 2,013,866.00 කි. මින් පැහැදිලි කරගත හැකි එක් වැදගත් කරුණක් වන්නේ වැඩිම සහ අඩුම වියදමක් දරා ඇති අපේක්ෂකයන් අතර දිස්වන පරතරයයි.
අනෙක් කරුණ වන්නේ පසුගිය පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී විවිධ අභියෝග මැද්දේ වුවත් සැලකිය යුතු ප්‍රමාණයක කාන්තා සාමාජිකාවන් ප්‍රමාණයක් තරග කරනු ලැබුවද අපේක්ෂකයන් වියදම් කර ඇති ආකාරය විමසීමේදී පෙනී යන්නේ කාන්තාවන් විසින් සිදුකරන ලද මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය කෙතරම් අවම මුදලකින් සිදුකරන ලද එකක්ද යන්නයි. මින් කිසිසේත්ම කාන්තාවන් චේතනාන්විතවම සම්ප්‍රදායික මාධ්‍ය ප්රචාරයෙන් බැහැරව ඇති බවක් අදහස් නොවේ. සැබවින්ම සිදුවී ඇත්තේ ඔවුන්ට තමන්ගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය ධනය සොයා ගැනීමට අපහසු වීමයි . අනෙක් ගැටලුව සුබ පතන්නන් අවම වීම වන අතර සමහර සුබ පතන්නන්, සුබ පතන අතරේ ඔවුන් වෙත අනිසි බලපෑම කිරීමේ දොළකිනුත් පෙළෙන බව අතිශෝක්තියක් නොවේ. එබැවින් බොහෝ කාන්තා අපේක්ෂිකාවන් උත්සහ දරනු ලබන්නේ හැකිතාක් එවැනි සුබපතන්නන්ගෙන් ඈත්ව ජන්ද ප්රචාරයේ යෙදීම බවයි අපගේ අත්දැකීම සහ නිරීක්ෂණය. මෙම ලියුම්කරු සමඟ සාකච්ජා කල පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාවන් ලෙස තරඟ කල කිහිපදෙනෙක්ම පැවසුවේ එවැනි බලපෑම් වලට හසුවීමට වඩා එවැනි තැනැත්තන් හෝ ආයතන මඟින් මුදල් ඉල්ලා සිටීමෙන් වැලකීම වඩාත් උචිත බවයි.
එනයින් ජාතික ජනබලවේගයේ උපක්‍රමය ඔවුන්ගේ අපේක්ෂිකාවන් ආරක්ෂා කරනවා සේම එකසමාන ප්‍රචාරයක් සෑම අපේක්ෂිකාවට ම තහවුරු කරන්නක්. හේතුව ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්රචාරක පිරිවැය පැමිණෙන්නේ එකම මුලාශ්රයකින්. ඒ පැලවත්ත ප්‍රධාන කාර්යාලයෙන්. ඉහත කී ලෙස වැඩිම මුදලක් වැය කල අපේක්ෂක /අපේක්ෂිකා ලැයිස්තුවේ සිටින්නේ කාන්තාවන් 07 දෙනෙක් පමණයි. ඒ අය අතරිනුත් මහේෂි මධුසංකා යනු ගාල්ල දිස්ත්‍රික්කයෙන් UDV පක්ෂය මඟින් ජන්දයට ඉදිරිපත් වූ කාන්තාවක්. ඇය ප්‍රසිද්ධ හා හැකියාවෙන් පිරුණු තරුණ නිලියක්. රංජන් රාමනායක UDV පක්ෂයේ නායකයාව සිටි බැවින් එම පක්ෂය යටතේ බොහෝ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වගේම සමාජයේ යම් ආකාරයකට ප්‍රසිද්ධියට පත් තැනැත්තන් ජන්දයට ඉදිරිපත් වීම තවත් දිස් වූ විශේෂ ලක්ෂණයක්. මහේශිත් ඉදිරිපත් වුනේ එකී පදනම යටතේ. එබැවින් ඉහත සියදෙනාගේ ලැයිස්තුවේ සිටින කාන්තා අපේක්ෂ්කාවන් අතරින් වැඩිම වියදමක් දරා ඇත්තේ මහේෂි වුවත් ඇය, ඇයගේ ප්රචාරක මුදල් ඇය විසින්ම දරා ඇතිද යන්න නම් සැක සහිතයි. අනෙක් කාන්තාවන් හය දෙනා අතර සිටින පිරිසෙන් ජයග්‍රහණයක් ලබා ගත්තේ චමින්ද්‍රානි කිරිඇල්ල පමණයි. ඇය සමගි ජනබලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කොට ජයගනු ලැබුවා.
මෙවර එක් දේශපාලන පක්ෂයක් අති විශාල ජයග්‍රහණයක් ලබාගන්නා විට චමින්ද්‍රානි වැනි විපාක්ෂික අපේක්ෂිකාවන් එලෙස යම් ආකාරයක ජයග්‍රහණයක් ලබාගැනීමත් ඉතා සුවිශේෂයි. ලාල්කාන්ත සහෝදරයාගේ සොඳුරු බුලි කිරීමකට ඇය මැතිවරණ ප්රචාරක සමයේ ලක්වුණේ ‘කිරිකෝඩු’ ලෙස ඇයම භාවිත කල ස්වයං හඳුනාගැනීමත් සමඟ ඒ කෙසේවෙතත් ඇය මේවනවිට පාර්ලිමේන්තුවේ සහ අනෙක් සමාජීය කාර්යයන් වලදී ඉතා හොඳ දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. ඇයත් සමඟ සමඟි ජන බලවේගය යටතේ තරග කොට ජයගත් අනෙක් කාන්තාව මාතලේ දිස්ත්‍රික්කයේ රෝහිනී කුමාරි විජේරත්න. ඇයගේ නම මේ ලැයිස්තුව 200 දෙනෙක් දක්වා දිගු කලත් හමුවන්නේ නැහැ . හේතුව ඇය ඉතා අවම ලෙසින් මැතිවරණ ප්‍රචාරය සඳහා මුදල් වැය කිරීම. වරක් මේ ලියුම්කරු සමඟ ඇය ප්‍රකාශ කලේ වසර 2020 දී මැතිවරණය කලේ තමන්ගේ නිවාස උකසට තියා බැවින් මෙවර මැතිවරණය සඳහා මුදල් සොයා ගැනීමට දුෂ්කර ක්‍රියා කල යුතු බවයි (නිමාවූ පාර්ලිමේන්තු ජන්ද විමසීම). මේ පහතින් සඳහන් වන්නේ එලෙස 100 දෙනාගේ ලැයිස්තුවේ ඉන්න කාන්තාවන් 07 දෙනා වියදම් කොට ඇති ආකාරය.
- මහේෂි මධුසංකා රුපියල් 9,280,017.00,
- රෝසි සේනානායක රුපියල් 8,610,211.00,
- චමින්ද්රනි කිරිඇල්ල රුපියල් 7,879,629.60,
- අප්සාරී සිංහබාහු රුපියල් 4,145,342.00,
- පවිත්‍රා වන්නිආරච්චි රුපියල් 3,483,360.00,
- තුෂාරි ගංගේ රුපියල් 3,123,272.00 සහ
- අනුරාධා යහම්පත් රුපියල් 2,456,964.19
ජනකාන්ත තරුවල (Celebrities) නිවී යෑම
මෙම 100 දෙනාගේ ලැයිස්තුවේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි සම්ප්‍රදායික මාධ්‍ය සඳහා වැඩිම වියදමක් දරා ඇති අපේක්ෂක /අපේක්ෂිකාවන් 100 දෙනෙක් අතරින් 14 දෙනෙක් පමණයි ජයගෙන ඇත්තේ. ඒ අතරිනුත් ඉතා දැවැන්ත මුදලක් වැය කල දිලිත් ජයවීර තේරීපත් වුයේ ජාතික ලැයිස්තුව මඟින්. Celebrities ලා වෙච්ච රෝසි සේනානායක (කෙසේවෙතත් ඇය ඉතා පරිනත දේශපාලන චරිතයක් සහ ජනකාන්ත චරිතයකට එහා ගිය දේශපාලන අත්දැකීම් සහිත කාන්තාවක්) , මහේෂි මධුසංකා, තිලකරත්න ඩිල්ෂාන් , අප්සාරී සිංහබාහු වගේම කමල් අද්දරආරච්චි පවා යම් වැඩි මුදලක් වැය කොට තිබුනත් ඔවුනුත් තරගයෙන් පරාජයට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් මෙවරත් පැවසිය යුතුයි . මාධ්‍ය වියදම කියන්නේ අපේක්ෂකයන්ගේ ජය හෝ පරාජය තීරණය වන එකම සාධකය නොවෙයි . එය තවත් එක් ප්රචාරක මෙවලමක් පමණයි . විශේෂයෙන් සුනාමියක් වැනි ජන රැල්ලක් එක පක්ෂයක් ගොනු වන විටෙකදී හෙවත් ජනතා කැමැත්ත සර්පිලාකාරව එක් පක්ෂයක් වටා භ්‍රමණය වන අවස්ථාවකදී කෙතරම් මුදලක් වැය කලත් වැඩක් නොවෙන්න පුළුවන්.
