මෙවර මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ නිදහස් හා සාමකාමී මැතිවරණයයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ශ්‍රී ලංකා  මැතිවරණ ඉතිහාසයේ ඉහළම මට්ටමේ නිදහස් හා සාමකාමී මැතිවරණය ලෙස අවිවාදිත මෙවර මහ මැතිවරණය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් වෙත ප්‍රණාමය පුද කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙවර මහ මැතිවරණය නිදහස් හා සාමකාමී ආකාරයට අති සාර්ථක ලෙස මෙහෙය වූ හා ඒ සඳහා අනගි සහයක් ලබා දුන් පාර්ශව ගණනාවක්ම හදුනාගත හැකිය. දේශපාලනයට අදාළ පාර්ශව සැලකීමේදී ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය එමෙන්ම මෙවර මැතිවරණයට තරග වැදුන සියළුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන් එහිදී ඉතා තීරණාතමක ආදර්ශයක් රටට ලබා දී තිබේ.

එමෙන්ම ඊට නොදෙවෙනි අතිශයින්ම වැදගත් කාර්‍යභාරයක් සිදුකළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති,කොමසාරිස් ජනරාල් ඇතුළු කොමසාරිස්වරුන්, එම කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ නිළධාරීන් එහිදී ඇගයුමට පාත්‍රවිය යුතුය. මේ සියළු පාර්ශයන්හි කැපවීම හා දායකත්වය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම සාමකාමී හා නිදහස් මැතිවරණයක් අත්දකින්නට ජනතාවට අවස්ථාව උදාවිය. එය ආසියානු කලාපයටම පමණක් නොව සමස්ථ ලෝකයටම දැවැන්ත ආදර්ශයකි. රටක් ලෙස අප තරයේ ආරක්ෂා කරගත යුතුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය වර්ණවත් කිර්‍රිමකි. පොදුවේ රටට ඉමහත් ආඩම්බරයකි.

Leave A Comment