මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්‍රාමීය පිරිමින්  හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා.  අපි කුඩා කාලේ අපේ ගෙදරට  මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා.  ඒ දෙන්නා තාත්තා ඇතුලු පිරිමි අපි හැමෝම  අරහං කරලා කරන යටිකූට්ටු වැඩක් ගානට ඒ දෙන්නා තමයි කතාව. 

සමහර දවසට අම්මයි මිඩ් වයිෆ් නෝනයි අපිට පේන්නැති වෙන්න ගෙදර අහුමුලු වලටත් යනවා. මිඩ් වයිෆ් නෝනා ගෙදරින් යනකොට පුංචි මම එයාගෙ අවධානය ගන්න එයාගෙ මූණ ඉස්සරහට ගිහින් බයාදු විදියට හිනා වෙලත් තියෙනවා.

මේ පසුබිමේ පේන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවාලාභියා ගැහැණුන් වන බවයි.   මේ පවුල් සෞඛ්‍ය සේවාව ලබා දෙන්නේ නිලධාරීන් නොව සෞඛ්‍ය නිලධාරිණියන් ය.  ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා වෘත්තිය ලංකාවේ ස්ත්‍රිය  වෙනුවෙන් ස්ත්‍රීන්ට සේවා සපයන විශේෂ සේවාවකි.

ඔවුන්ගේ සේවය නැත්නම් ග්‍රාමීය නූගත් කාන්තාවන් සිය ස්ත්‍රීභාවය බිරිඳක්,  ගැබිණි මවක්,  මවක් හැටියට මේ පරාසය නිල වශයෙන් ජීව විද්‍යාත්මකව  සහ සමාජ විද්‍යාත්මක ව දැන ගත යුතු සහ පරිස්සම් වීමට කල යුතු දේවල් ගැන දැන ගන්නේ නැත.

මේ පසුබිමේ බිබිලේ  දරුවන්ගේ බර කිරීමේ රාජකාරියක නියලුණ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිණියකට අන්තිම පහත් ලෙස බැනවැදී ශාරීරිකව අඩන්තේට්ටම් කරන්න ගිය පිරිමියා ගැන අපට ඇත්තේ ලජ්ජාවකි.  එම නරුමයා එක පැත්තකින් කරේ පිරිමි වන අපටද අපහාසයකි.

මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය.

‍| සුජිත් රත්නායක
‍| සුජිත් රත්නායක

 

Leave A Comment