මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය සහ කොත්මලේ නව පොල්පිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු අවසන් අදියරේ

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගගේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

මූලිකවම ජාතික විදුලිබල අවශ්‍යතාවය උපරිම වන රාත්‍රී 7ත් 10ත් අතර කාලයේදී පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමේදී ඉතාම වැදගත් කාර්යක් ඉටු කිරීමට අපේක්ෂිත මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය ඉදිරි දෙසැම්බර්යේදී පමණ ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.

මහවැලි ගහ හරහා මීටර් 237ක් දිග සහ මීටර් 37ක් උස වේල්ලක් සාදා එම වේල්ලේ සිට කිලෝමීටර් 03ක් පමණ පොලොව යටින් උමං මගක් හරහා ගෙනෙන ජලය භාවිතයෙන් මෙගාවොට් 15.1 බැගින් වන ජනක යන්ත්‍ර දෙකක් හරහා නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇත.

එමෙන්ම මහවැලි ජල විදුලිබල සංකීර්ණය සහ ලක්ෂපාන ජල විදුලිබල සංකීර්ණය අතර සම්බන්ධ කරමින් ඉදිකෙරෙන කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයද ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගන යාමෙහිලා විශාල කාර්යභාරයක් ඉටුකිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, දේශීය විශේෂඥයින් හා ඉදිකිරීම් සමාගම් එක්ව කෙරෙන මෙම ඉදිරිකිරීම අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වුණු අතර මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගැමුණු රණසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ, තැනීම් ව්‍යපෘති) නිශාන්ත ගරුසිංහ මහතා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහල නිළධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Comment