මොරටුවේ වෛද්‍ය සිසුන්ගේ මහාචාර්ය පුහුණුවට විසඳුමක් දෙයි
- 5opn1
- December 1, 2024
- අධ්‍යාපන
- මොරටුවේ වෛද්‍ය සිසුන්ගේ මහාචාර්ය පුහුණුවට විසඳුමක් දෙයි
- 0 Comments
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුවී ඇත.
ඒ අනූව එම ගැටලු සදහා විසදුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාග් ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල, සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට කැදවා තිබුනි.
මෙ වන විට වර්ෂ හතරකට අදාල වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු වල නිරත වන බවත්, එහි සිව්වන වසරේ අධ්‍යන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් ලබන වසරේ මැද භාගය වන විටදී මහාචාර්ය පුහුණුව සදහා අනිවාර්යෙන් යොමුකල යුතු බවද එහෙත් ඒ සදහා සුදුසුකම් සහිත කාර්ය මණ්ඩල මෙන්ම පහසුකම් සහිත රෝහලක් නොතිබීම දැඩි ගැටලුවක්ව පවතින අතර එම ගැටලුවට විසදුම් ලබා දීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් හට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සදහා 2021 වර්ෂයේදී කලුතර දිස්ත්‍රික් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමිකව ශ්‍රේණිගත කලද එහි මෙම කාර්ය ඉටුකිරීම සදහා ප්‍රමාණවත් භෞතික සම්පත් වැඩි දියුණු කර නොතිබීම ගැටලුවක්ව පැවතිණි.
ඒවෙනුවෙන් දැනට යෝජනා වී ඇති මාළඹේ වෛද්‍ය නෙවිල් පුනාන්දු රෝහල පිළිබදවද මෙම සාකච්ඡාවේදී විමසා බලන ලද අතර එම රෝහලේ මෙම කාර්ය සදහා ප්‍රමාණවත් රෝගීන් සහ පුහුණු මානව සම්පත නිසි අයුරින් නොමැති බවද අනාවරණය විය.
දීර්ඝ අදහස් හුවමාරුවකින් පසුව මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන්ට ලබන වර්ෂයේ ජූලි මාසයේ ආරම්භවීමට නියමිත මහාචාර්ය පුහුණුව කලුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ ආරම්භ කිරීමටත්, ඉදිරි මාස කිහිපය තුළදී ඒ සදහා රෝහල තුල සිදුවිය යුතු සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් කඩිනමින් ස්ථාපිත කිරීමටත් මෙහිදී තිරණය කරනු ලැබීය. මේ සදහා ඉතා කෙටි කාළයක් තුළ අදාල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ වගකීම නියමිත ආයතන වෙත මෙම සාකච්වේදී පවරන ලදී.
ඒ අනූව රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල ඇතුලුව මූළික පහසුකම් රෝහලට ලබා දීමටත්, සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා දීමටත් මෙම සාකච්ඡාවේදී එකගතාවයකට එළැඹිණි.
මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගෙන ඒ සදහා වෙනම විශේෂ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙලක් යටතේ රෝහල සංවර්ධනය කිරීමටත්, ඊට අදාල විශේෂඥ වෛද්‍යවරුන් ප්රමුඛ සියලු කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමටත්, Health Tourism (සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය) ඉක්ක කරගෙන නව ආකෘතියක් යටතේ මෙම රෝහල සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී යෝජනා විය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉදිරි සංවර්ධන කාර්යන් සිදුකිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පුමුඛ විශේෂ කමිටුවක් අමාත්‍යවරයාගේ උපදෙසින් මෙහිදී පත්කරන ලද අතර එම කමිටුව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරි සංවර්ධනය කිරීමට අවශ්‍ය සංවර්ධන යෝජනාවලියක් කඩිනමින් සකස් කර එම යෝජනාවලිය දෙසැම්බර් මස අවසන්වීමට පෙර තමන්හට ලබා දීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා විසින් මෙහිදී නිළධාරීන්හට උපදෙස් ලබාදුන්නේය.
මෙම සාකච්ඡාමය අවස්ථාට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,යන මහත්ම මහත්මීන්ද අතිරේක ලේකම්වරුන් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කලුතර නාගොඩ ශික්ෂණ රෝහල, මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ මෙයට සම්බන්ධ සියලු ආයතන නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
DMN