
රජරට බෞද්ධ ප්රබෝධයට ශක්තිය දුන් ගිරාඹේ ආනන්ද අනු නාහිමියන්
- Sujeewa Senerath
- April 7, 2025
- දේශපාලන, පුවත්
- karu-jayasuriya, nmsj, ven-grambe-ananda-thero
- 0 Comments
-
අතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි.
භික්ෂු ජීවිතයේ උදාරත්වය රැක ගනිමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා සිදු කර ඇති අපරිමිත කැපකිරීම් අප නිරන්තරයෙන් සිහිපත් කල යුතුව ඇත. උන් වහන්සේලා විසින් සිදුකර ඇති එවන් කැපකිරීම් නොවන්නට බෞද්ධයන් ලෙස අපගේ ඉරණම ඉතා ශෝචනීය වන්නට බොහෝ සේ ඉඩ තිබුණි. ලාංකේය බෞද්ධ සංස්කෘතියේ නිර්මාපකයන් ලෙස එවන් භික්ෂූන් වහන්සේලා සදා වන්දනාවට පාත්‍ර කල යුතුය.
සසුන් කෙත සරු කළ එවන් උත්තම චරිතයක් වූ අනුරාධපුරයේ සාරානන්ද මහ පිරිවෙන් අධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායකව වැඩ සිටි අතිපූජ්‍ය, ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය මෙම අප්‍රේල් මස 8වන දිනට යෙදී ඇත.
මා ඉතාම මිත්රශීලීව ඇසුරු කළ නාහිමිපාණන්ගේ චරිතය තුළ මට පෙනී ගිය ප්‍රධානම ලක්ෂණය වූයේ මාහිමියන් ගත කළ අතිශයින්ම අල්පේච්ඡතා ජීවිතයයි. සෑම මෙහොතකදීම අන්‍යයන්ට උදව් කිරීම උන්වහන්සේගේ සිරිත විය. තවද අප ජීවත් වන සමාජය විවිධ ආකල්ප ඇති විවිධ ජාතීන් හා සමාජ ස්ථරයන්ට අයත් බහු විධ ගිහි පැවිදි සමාජයන් බව නාහිමිපාණන් වහන්සේ කිසි විටක අමතක නොකළහ. ඒ බව සැලකිල්ලට ගනිමින් සැමවිටම ක්‍රියා කළහ.
රටට අවශ්‍ය ගුණ ගරුක භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම තම ප්රමුඛ වගකීම බව උන්වහන්සේ නිරතුරුව කල්පනා කළහ. ඒ සඳහා ප්‍රධාන පෙළේ පිරිවෙන් දෙකකට නායකත්වය දුන්හ. අනුරාධපුරයේ සාරානන්ද මහ පිරිවෙන හා පේරාදෙණිය සාරානන්ද පිරිවෙන ඒ අතර වේ. සියල්ලටම වඩා තමා නියෝජනය කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්රගමනය වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගත්හ. නිරන්තරයෙන් නිකාය තුළ සාමාග්‍රීය ඇති කිරීමට මහත් උත්සහයක් ගෙන කටයුතු කළහ. නිකායේ විවිධ තනතුරු දරමින් කටයුතු කළ උන් වහන්සේ අවසානයේ දී නිකායේ අනුනායක පදවියෙන් ද බුහුමන් ලැබීය.
නිකාය පාර්ශ්ව ආදී කිසිදු වෙනසකින් තොරව සියළුම ආගමික කටයුතුවලට තමන්ට හැකි ඉහළම අයුරින් සම්බන්ධ වීම උන්වහන්සේගේ කැපීපෙනෙන ලක්ෂණයක් විය. විශේෂයෙන්ම භික්ෂූ අධ්‍යාපනයේ උන්නතිය උදෙසා උන්වහන්සේ දැක්වූ උනන්දුව, තරුණ භික්ෂූන් වහන්සේලාගේ යහපත කෙරෙහි සිදු කළා වූ එකක්ම විය. එහිදී විශේෂයෙන්ම අනුරාධපුර හා පේරාදෙණියේ සාරානන්ද පිරිවෙන් ආයතන දිවිත්වයෙන් බිහි කළ ශිෂ්‍ය පිරිස නාහිමියන්ට දක්වන ලද අසීමිත ගෞරවය මෙහිදී සිහිපත් කළ යුතුය.
රටේ ප්රජාතන්ත්රවාදය හා මිනිස් නිදහස අපේ අනුනායක හිමිපාණන් වහන්සේ නිරන්තරයෙන්ම අගය කළ අතර ඒ උදෙසා පෙරමුණ ගෙන ක්‍රියා කරන ලද්දේය. උන්වහන්සේ ජීවත්ව සිටි සමයේ කරළියට ආ ප්රජාතන්ත්ර විරෝධී අණපනත්වලට උන් වහන්සේ එක හඩින් එරෙහි විය. ඒ සඳහා උන්වහන්සේට ශක්තියක් වූයේ අපවත් වී වදාළ පූජ්‍ය, මාදුළුවාවේ සෝභිත නාහිමියන්ය.
පූජ්‍ය සෝභිත නාහිමියන් මෙරටේ මහා සංඝරත්නයත් විද්වත් ජනතාවත් සම්බන්ධ කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ ඒ අනුවය. එම අවස්ථාවේ සෝභිත නාහිමියන්ට මහත් ශක්තියක් වූයේ ගිරාඹේ ආනන්ද නාහිමියන්ය. ඒ තුළ පෙනී සිටිමින් 2015 ජනතා පෙරළිය ඇති කිරීමට මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමඟ ක්‍රියා කළ අනු නාහිමියන් එම පෙරළියෙන් ජනතාව අපේක්ෂා කරන ලද අරමුණු ඉටු නොවනු බව දැක දැඩි කනස්සල්ලෙන් සිටියහ.
රජරට බෞද්ධ ප්රබෝධය ඇති කිරීමට ද උන් වහන්සේ මහත් වෙහෙසක් දැරී ය. විවිධ සමිති සමාගම් ආරම්භ කරමින් අසරණයින්ට සරණ වීම සඳහා කරන ලද මෙහෙය විශාලය. නිරන්තරයෙන් අප මුනගැසුන සෑම මෙහොතකම රජරට ජනතාවගේ අනේක විද ප්‍රශ්න ගැන කථා කළහ. කළ යුතු පිළියම් ගැන ද සිහි කළහ.
උන් වහන්සේගේ උදාර ජාතික, ආගමික, දේශපාලනික සමාජීය මෙහෙවර සිහිපත් කරමින් මීට වසර 7පෙර අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නාහිමියන් වහන්සේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. අද වැනි යුගයක උන්වහන්සේ නොමැති වීමේ අඩුව දකිමින් සිටිමු.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති