
‘රටට ඩොලර් ගෙන එන සියල්ලන්ට 15%ක බදු පැනවෙන’ අපනයන සේවා බද්ද බලපාන්නේ කාට ද?
- CNL Reporter
- February 28, 2025
- CNL සතියේ ව්‍යාපාරික විවරණය
- online-tax
- 0 Comments
එළඹෙන අප්‍රේල් මස 01 වන දා සිට යම් විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයනු ලබන ලාභ හෝ ලැබීම් විදේශීය ව්‍යවහාර මුදලින් ලැබෙන හෝ උපයනු ලබන අවස්ථාවකදී සහ බැංකුවක් හරහා ප්‍රේෂණය කරන අවස්ථාවකදී ඒ සැපයීම සහ ලාභයෙන් 15%ක බද්දක් ගෙවීමට රජය යෝජනා කර තිබේ.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මගින් මුදල් අමාත්‍යාංශය මේ යෝජනා ඉදිරිපත් කර තිබිණි.
මේ දක්වා, විදේශ රටවල සිට මෙරට බැංකු පද්ධතිය හරහා ගෙන එනු ලබන විදේශ මුදල් සඳහා බදු අය කිරීමක් සිදුනොකළ අතර, 2025 අයවැය සම්මත වීමෙන් පසු මෙම පනත් කෙටුම්පත ක්‍රියාවට නැංවෙනු ඇත.
‘රටට ලැබෙන විදේශ මුදල්වල යම් අඩුවක් ඇති වෙන්න පුළුවන්’
විදේශ රටවලට සේවා සපයන ආයතන සහ පුද්ගලයින්ට පැනවීමට යෝජනා කර ඇති මෙම 15%ක අපනයන සේවා බද්ද හේතුවෙන් මෙරටට විදේශ මුදල් ලැබීමේ යම් අඩුවක් ඇති විය හැකි බව ආර්ථීක විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.
ඔහු ප්‍රකාශ කළේ, නව අපනයන සේවා බද්ද විදේශ රටවලට සේවා සපයන සමාගම්වලට පමණක් නොව තනි තනි පුද්ගලයින්ට ද ගෙවීමට සිදුවන බව ය.
“ජනාධිපතිවරයා ඉකුත් වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරපු ප්‍රකාශයේදී තමයි මේ ගැන මුලින් ම කිව්වේ. එතැනදී ජනාධිපතිතුමා කියපු දෙයක් තමයි ඩිජිටල් සේවා සඳහා බද්දක් අය කරනවා කියලා. ඒ වගේ ම විදේශ සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බද්දක් පනවනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කරලා 30%ක තිබ්බ ඒ බද්ද 15%ක් දක්වා අඩු කර ගත්තා කියලත් කිව්වා.”
“ඇඟලුම්, තේ වැනි භාණ්ඩ අපනයනය කරද්දී ලංකාවට ඩොලර් අරන් එන සමාගම් ඔවුන්ගේ වියදම් අඩු කළාට පස්සේ ලැබෙන ලාභයෙන් 30%ක බද්දක් ගෙවනවා. භාණ්ඩ අපනයන බද්ද පනවද්දී ඒවායේ තොරතුරු බලන්න පුළුවන්. අපනයන භාණ්ඩ සේවා සපයන අය බදු ගෙවන නිසා සම බිමක් හදන්න ඕන කියලා මේ විදිහට විදේශීය රටවල්වලට සේවා සපයන අයටත් බද්ද පනවන්න හේතුව. නමුත් අපනයන සේවා සිදුකිරීමේදී ඒ ගැන හරියට ම තොරතුරු හොයන්න බැහැ.”
“විදේශ රටවල්වලට සේවා සපයන අයට ඩොලර් රටට ගේන්නේ නැතිව වෙනත් ක්‍රම හරහා මේ විදේශ මුදල් රඳවා තබන්න හැකියාව තියෙනවා. එතැනදී රටට ලැබෙන විදේශ මුදල් ලැබීමේ යම් අඩුවක් ඇති වෙන්න පුළුවන්. මෙතැනදී ආයතනවලට විතරක් නෙමේ තනි පුද්ගලයින් වශයෙන් සේවා සපයලා ඩොලර්වලින් ආදායම් උපයනවා නම් ඒ අයටත් මේ බද්ද ගෙවන්න සිදුවෙනවා.”
“කොටින් ම කිව්වොත් යූ ටියුබ් එකෙන් වුණත් ලැබෙන අදායම් මේ බද්දට යටත් වෙනවා. එතනදී යූ ටියුබ් එක ලංකාවේ අයත් බලනවා විදේශීයව ඉන්න අයත් බලනවා. එතනදී මේ බද්ද අය කරන්නේ කොහොමද කියලා හරියට ම කියන්න බැහැ. එතැනදී වියදම් අඩු කරලා තමයි ලැබෙන ලාභයට බද්ද ගෙවන්න සිද්ධ වෙන්නේ.”
“මෙතැනදී නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා සේවා අපනයනයන කියන වචනයට. ඒ කියන්නේ ලංකාවෙන් පිටත රටකට සේවාවක් සපයද්දී තමයි මේ බද්ද ගෙවන්න සිද්ධ වෙන්නේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ ගැන නිර්වචනය කරද්දී ඒ ගැන සිදුකරන ආකාරයට යටත්ව තමයි මේ බද්ද අය කිරීම සිදුකරන්න වෙන්නේ කියලා මගේ මතය වෙන්නේ,” ඔහු මෙහිදී පැවසුවේ ය.
මෙම බද්ද සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැමුන් අදහස් පළ කර තිබිණි.
https://x.com/crewforshoots/status/1894123075127377999/photo/1
මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට ‘පිළිගෙන ඉදිරියට යන්න’ තෝරන්න.
අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.
මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට ‘පිළිගෙන ඉදිරියට යන්න’ තෝරන්න.
‘ඔන්ලයින් කැසිනෝ බද්ද පනවන්න පැකිළෙන ආණ්ඩුව මේ බද්ද ගෙනල්ලා’
අපනයන සේවා බද්ද පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලඥයින් රැසක් අදහස් දක්වමින් රජයට නැවත එම තීරණය පිළිබඳව සලකා බලන ලෙස යෝජනා කළහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ සහ විදේශීය ආයතනවල සේවය කරන නිදහස් සේවකයින්ගෙන් 15%ක බද්දක් පැනවීමට රජය ගත් තීරණය පිළිබඳව අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, බාහිර පාර්ශවයන්ට සේවා සපයන සහ විදේශ විනිමය ආපසු ගෙන එන පුද්ගලයින් මෙම බද්දෙන් ඉලක්ක කර ඇති බව ය.
“IT කේෂ්ත්‍රයේ සේවය කරන අය, විශේෂයෙන් ම වෙබ් නිර්මාණකරුවන්, වෙබ් සංවර්ධකයින්, වීඩියෝ සංස්කාරකවරුන් වැනි අය සඳහා රජය විසින් 15%ක බද්දක් යෝජනා කර තිබෙනවා. විදේශ ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන නිදහස් සේවකයින්ට මේ බද්ද අදාළ වෙනවා. ඔන්ලයින් කැසිනෝ බද්ද පනවන්න ආණ්ඩුවට කිසි ම වුවමනාවක් නැහැ,” ඔහු පැවසීය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඔන්ලයින් කැසිනෝ සඳහා බද්දක් හඳුන්වා දෙන ලෙස ඉල්ලා ඇති අතර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ද ක්‍රමවේදයක් යෝජනා කර ඇති බව මෙහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින නිදහස් සේවකයින්ට බදු පැනවීම අසාධාරණ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඉන්ටර්නෙට් කැසිනෝ බද්ද සම්බන්ධයෙන් රජය මුනිවත රකින්නේ ඇයි දැයි එහිදී ප්‍රශ්න කළේ ය.
| ඔන්ලයින් ඔස්සේ මෙරට රැකියා කරන පිරිස ලක්ෂ 02ක් පමණ වේ
‘බදු අය කරන්න කලින් අපට පිළිගැනීමක් දෙන්න’
ඔන්ලයින් ක්‍රම හරහා විදේශ විනිමය උපයන, නයන රණසිංහ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ, 2030 වසර වන විට ඩිජිටල් ආර්ථිකය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක ආදායමක් උපයා ගැනීමේ ඉලක්කයක් බව ප්‍රකාශ කර සිටියදී මෙවැනි බදු පැනවීම හරහා එම ඉලක්කය සපුරා ගැනීම සිදුකළ හැකි ද යන ගැටලුව පැන නගින බව ය.
මෙරට පුද්ගලයින් ලක්ෂ 2ක් පමණ වන අපනයන සේවා සපයන පුද්ගලයින්ට කිසිදු පිළිගැනීමක් මෙරට තුළ නොමැති බවත්, ඔවුන්ගෙන් බදු අය කර ගැනීමට රජය ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් නිසි පිළිගැනීමක් ලබා දිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
”සාමාන්‍යයෙන් ලක්ෂ 2කට වගේ ආසන්න පිරිසක් ඉන්නවා IT ඇතුළු කේෂ්ත්‍රවලට සම්බන්ධ වෙලා ලංකාවට විදේශ විනිමය අරන් එන. මෙච්චර කල් ඒ අය අරන් එන ආදායම බද්දකට යටත් වුණේ නැහැ. නමුත් දැන් 15%ක බද්දක් පනවන්න යනවා.”
“මේ ආදායම ලංකාවේ බැංකුවකට අපි උපයන විදේශ විනිමය අරන් එද්දී තවත් වියදම් කිහිපයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. බැංකු ගාස්තු ගෙවන්න ඕන, ඒ වගේ ම විදේශ මුදල් හුවමාරුවේදී තියෙන රේට්ස්වල වෙනස්කම් තියෙනවා. මේ සේරමත් එක්ක අපි උපයන ආදායමට 3-4%ත් අතර ප්‍රමාණයක් අඩු වෙද්දී ආපහු 15%ක බද්දක් ගෙවන්න වෙලා තියෙනවා. එහෙම වුණා ම අපිට ලැබෙන ආදායමෙන් 18%ක් විතර අඩු වෙනවා.”
“රජය යෝජනා කරනවා 2030 වෙද්දී ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් කරන්න ඕන කියලා. නමුත් මේක සපුරා ගන්නේ කොහොම ද මේ විදිහට බදු පැනවීමක් කරලා?”
“උදාහරණයක් විදිහට ගත්තා ම කියුබාවේ මේ වගේ 20%ක බද්දක් පැනවූවාට පස්සේ ඒ රටට ගෙන එන විදේශ විනිමය අඩු වුණා. නීතිවිරෝධී ක්‍රමවලින් මුදල් අරන් එන්න ඒ අය කටයුතු කළා. ඒ වගේ ම යි වියට්නාමයේ 1997 මේ විදිහට 5%ක බද්දක් පැනවුවා. නමුත් පස්සේ ඒ අය බද්ද අයින් කළාට පස්සේ රටට විදේශ විනිමය ලැබෙන එක තුන් හතර ගුණයකින් වැඩි වුණා.”
“විදේශ රටවලට සේවා සපයලා මුදල් උපයන අයට පුළුවන් මේ මුදල් නීත්‍යනුකූල නොවන විදිහට රටට ගේන්න වගේ ම රටට මුදල් ගේන්නේ නැතිව ඩිජිටල් වොලට් එකක් වගේ වෙනත් ක්‍රමවේද හරහා ඒවා භුක්ති විඳින්න. මෙතැනින් වෙන්නේ රටට ලැබෙන විදේශ විනිමය අඩුවීමක්.”
“මේ රටේ විදේශ විනිමය ගේන ශ්‍රම බළකායකට රටේ කිසි ම පිළිගැනීමක් නැහැ. අඩු ම තරමින් බැංකුවක් හරහා ණය මුදලක් හරි ගන්න අවස්ථාවක් නැහැ මොක ද ඒ අයගේ සේවාවන්වලට කිසි ම පිළිගැනීමක් නැති නිසා. මුලින් ම ඔවුන්ට නිසි පිළිගැනීමක් වගේ ම අවශ්‍ය පහසුකම් සපයන්න ඕන.”
“මේ බදු පැනවීම මේ වෙලාවේ උචිත නැහැ. මොක ද රජය බලාපොරොත්තු වෙන ඩිජිටල් ක්‍රමවේදය හරහා ආදායම් උපයා ගැනීම ගැන ඉලක්කයක් තියන් ඉන්න නිසා,” ඔහු පැවසුවේ ය.
| ”මේ රටේ විදේශ විනිමය ගේන ශ්‍රම බළකායකට රටේ කිසිම පිළිගැනීමක් නැහැ. අඩුම තරමින් බැංකුවක් හරහා ණය මුදලක් හරි ගන්න අවස්ථාවක් නැහැ.”
‘මේක කලින් තිබ්බ බද්දක්… ආපහු ගෙනාවා විතරයි’
අපනයන සේවා බදු සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන කතාබහ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් පැහැදිලි කිරීමක් කළේ ය. එහිදී ඔහු පවසා සිටියේ, මෙම අපනයන සේවා බද්ද මීට වසර කිහිපයකට පෙර මෙරට තුළ ක්‍රියාත්මක වූ බද්දක් බව ය.
රටේ අනෙකුත් ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට සාපේක්ෂව අවම බදු ගෙවීමක් කරනු ලබන්නේ, අපනයන සේවා හරහා මුදල් උපයන පුද්ගලයින් බව ද එහිදී අමාත්‍යවරයා කියා පැවසුවේ ය.
“පළවෙනියෙන් ම පිළිගන්න වෙනවා රටේ තියෙන ආදායම් බදු නීතිය යටතේ සෑම කෙනෙකු ම ආදායම් බදු ගෙවීමට යටත් වෙනවා. හැබැයි සෑම තැනැත්තෙකු ම කියද්දී තනි තනි පුද්ගලයොත් ඉන්නවා, සමාගම් වගේ ම තවත් ව්‍යවස්ථාපිත ආයතන තිබෙනවා.”
“මෙතැනදී ඩිජිටල් සේවා අපනයන කරන ෆ්‍රීලාන්ස්, යුටියුබි, ඩිසයිනින්, ග්‍රැෆික් වැනි ආකාරයෙන් ලැබෙන ආදායමෙන් බදු ගෙවන්න වෙනවා කියලා. නමුත් අපි තනි පුද්ගලයෙකු ගත්තොත් ඔහු ඩිජිටල් සේවයට යන්න කලින් ඒ පුද්ගලයා ලංකාවේ ඇතුළේ උපයන ආදායමක් තියෙනවා නම් ඒ ආදායම ලංකාවේ ඇතුළෙන් උපයා ගත්තත්, විදේශ රටක උපයාගෙන ලංකාවේ ඇතුළත ඒ ආදායම ගෙන එනවා නම් ඔබ ආදායම් බද්දට යටත් වෙනවා.”
“ආදායම් බදු පැනවීමේදී නිදහස් සීමාවක් තියෙනවා. යම් පුද්ගලයෙකුගේ මාසික ආදායම රුපියල් 150,000කට වඩා අඩුයි නම් බදු ගෙවන්න ඕන නැහැ. මාසික ආදායම රුපියල් 150,000කට වඩා වැඩි වෙනවා නම් ඒ තැනැත්තා වැඩිවෙන පළමු රුපියල් 85,000 වෙනුවෙන් 6%ක්, ඊළඟට වැඩි වෙන රුපියල් 43,000 වෙනුවෙන් 18%ක් සහ එතන ඉදලා වැඩි වෙන ආදායම් කාණ්ඩවලට කොටස් වශයෙන් බදු ගෙවන්න ඕන ප්‍රතිශතය වැඩි වෙනවා. මේකට ඇතුළත් වෙලා තිබුණේ නැත්තේ සේවා අපනයනයේදී උපයන ලද ආදායම පමණ යි.”
“නමුත් 2020 ජනවාරි 01 වැනිදා සේවා අපනයනයේදී උපයන ආදායම් ආදායම බදුවලින් නිදහස් කළා. නමුත් දැන් ආපහු ඒ බද්ද ක්‍රියාත්මක යි. මෙතැනදී අය කරන්නේ සේවා අපනයනයෙන් උපයන ආදායමෙන් බද්ද අය කරන්නේ 15%ක උපරිමයකට යටත්ව යි.”
“උදාහරණයක් වශයෙන් ගත්තා ම යම් කෙනෙකු විදේශ සමාගමකට සේවාවක් සපයලා රුපියල් 150,000ක් මාසිකව ආදායමක් ලැබුවා නම් ඒ කෙනාට බදු ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් රුපියල් ලක්ෂ 2ක ආදායමක් උපයනවා නම් ඒ කෙනා ගෙවන්න ඕන මාසයකදී රුපියල් 3000ක් වගේ බද්දක් විතර යි. එතනදී එයා 15%ක බද්දක් නෙමෙයි ගෙවන්නේ 6%ක් වගේ බද්දක් ගෙවන්නේ මෙතැනදී.”
“ඩිජිටල් සේවාවක් ලබා දීලා අපි හිතමු රුපියල් මිලියනයක් වගේ ආදායමක් ලබනවා නම් ඒ පුද්ගලයා කොහොම ද බදු ගෙවන්න වෙන්නේ කියලා. පළවෙනි 150,000 වෙනුවෙන් කිසි ම බද්දක් ගෙවන්න ඕන නැහැ. ඊට පස්සේ වැඩි වෙන රුපියල් 85,000 වෙනුවෙන් ගෙවන්නේ 6%ක් විතරයි. එතනින් එහාට උපයන ඕනෑ ම ආදායමක් වෙනුවෙන් ගෙවන්න වෙන්නේ 15%ක බද්දක් විතර යි. රටේ සාමාන්‍ය බදු ගෙවන කෙනෙක් තමන් උපයන ආදායමෙන් 36%ක් බදු ගෙවද්දී, ඩිජිටල් අපනයන සේවා ලබා දෙන පුද්ගලයින්ට සහනයක් ලබා දීලා තියෙනවා.”
“යම් විදිහකින් මේ විදේශ අපනයන සේවා සපයන පුද්ගලයින්ට තමන් ලබා දෙන සේවාව වෙනුවෙන් ලැබෙන මුදලට අදාළ රටවල්වලින් යම් බදු අය කිරීමක් කරලා තියෙනවා නම් අපි ඔවුන්ට ඒ සහනය ලබා දෙනවා. උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 10ක ආදායමක් ඉපැයූ කෙනෙකුට ඒ රටවල්වලින් 15%ක බද්දක් අය කරලා නම් අපි මේ රටේදී කිසි ම බද්දක් අය කරන්නේ නැහැ. අපි ද්විත්ව බදු සහනය යටතේ ඔවුන්ට ඒ දේ ලබා දෙනවා. යම් විදිහකින් 15% වඩා අඩු බද්දක් අය කරලා තියෙනවා නම් විදේශ රටින් අපි ඒක ගණනය කරලා ඉතිරි සියයට ගණන මෙහෙදී අය කර ගන්නවා.”
“ඇතැම් අය මේක අලුත් බද්දක් හදලා කියලා කියනවා. නමුත් මේ වෙලා තියෙන්නේ කලින් තිබ්බ බද්දක් නැවත පැනවීමක් විතර යි. ලංකාවේ බදු ගෙවන අනෙක් කාණ්ඩවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සපයලා බදු ගෙවීමට සිදුවන පුද්ගලයින් තමයි අඩු ම මුදල ගෙවන්නේ,” අමාත්‍යවරයා පැවසුවේ ය.
(bbc/sinhala)