
රටම අඳුරු වුණ හැටි හොයන්න කොමිසමෙන් පැලවත්තට නොරොච්චෝලට පනින්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ලිඛිතව ඉල්ලයි
- CNL Reporter
- February 15, 2025
- දේශපාලන
- රටම අඳුරු වුණ හැටි හොයන්න කොමිසමෙන් පැලවත්තට නොරොච්චෝලට පනින්න – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ලිඛිතව ඉල්ලයි
- 0 Comments
පසුගිය නව වැනිදා පැය හතරකට අධික කාලයක් රටේම විදුලිය බිඳවැටීම ගැන සෙවීමට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයට සහ බත්තරමුල්ල පැලවත්තේ පද්ධති පාලන මධ්‍යස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (14 දා) මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
විදුලිය බිඳවැටීමෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව ගණනය කර එම මුදල් රාජකාරී පැහැර හැරි නිලධාරීන් සිටී නම් ඔවුන්ගෙන් පෞද්ගලිකව අය කර ගෙන විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත්වලින් අඩු කරනා ලෙසද ඔහු ඉල්ලා තිබේ.
එමෙන්ම විදුලි උපකරණවලට හානි වූ පිරිසගේ හානි පූර්ණය කිරීම සඳහා ද කොමිසම කටයුතු කළ යුතු බවද එහි දැක්වේ.
මේ අතර පෙරේදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ සංජීව ධම්මික මහතා සඳහන් කර තිබුණේ රටේම පැය හතරකට අධික කාලයක් විදුලිය බිඳවැටුණු පසුගිය නව වැනිදා බත්තරමුල්ල පැලවත්ත පද්ධති පාලන මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් නිසි ලෙස රාජකාරි කර නැති බවයි. ඒ අවස්ථාවේදී එහි ඉංජිනේරුවරුන් තිදෙනකු සිටිය යුතු වුවත් කිසිවකු නොසිටි බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ දැක්වෙයි. අදාළ ඉංජිනේරුවරුන් එසේ කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණි. විදුලිය බිඳ වැටීමේ සිද්ධියෙන් පසු බත්තරමුල්ල පැලවත්ත පද්ධති පාලන මධ්‍යස්ථානයට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර ඇති බවද එය ද සැකයට තුඩුදෙන කාරණයක් බවද සංජීව ධම්මික මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්