anura-kumara-dissanayake

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට ගෙන එනවා – ජනපති අනුර කුමාර දිසානායක

රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ප්‍රාදේශීය සභා මගින් ගමට එන එන බවත් ඒ සඳහා බය සැක නැතුව මුදල් වෙන් කළ හැකි හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජුනි මස 02ට පෙර ප්‍රාදේශීය සභා පිහිටුවිය යුතු අතර ජූලි – අගෝස්තු වන විට සිය යෝජනා මධ්‍යම ආණ්ඩුවට ලබා දිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව ගමට අවශ්‍ය මුදල් නොවැම්බර් මස වන විට ලබා දීමට සූදානම් බවද පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ බුත්තල නගරයේදී ඊයේ (31) දින පැවති ජන රැලියට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ජනාධිපති මැතිවරණය, මහ මැතිවරණය දෙකම ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා. ඊළඟට මැයි මස 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 10ම ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් නැහැ. මේ රටේ ජනතාවට එළැඹෙන ඕනෑම මැතිවරණයදී ජාතික බලවේගය හැර තෝරා ගන්න දේශපාලන ව්‍යාපාරයක් තවදුරටත් නැහැ. එනිසා මේ රටේ අනාගතය, ජනතාවගේ අනාගතය වෙනුවෙනුත් එය භාර ගැනීමට මේ රටේ ගොඩනැඟී තිබෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.

මේ රටේ ජනතාව දීර්ඝ කාලයක්  තිස්සේ පැවති පාලකයන්ගෙන් බලය අත්පත් කර ගැනීමට විවිධ ආකාරයෙන් උත්සාහ ගත්තා. නමුත් ඒ අය විවිධ අවලාද, අසත්‍ය තොරතුරු, මැර කණ්ඩායම් වැනි බොහෝ දේවල් යොදමින් බලය තමන්ගේ අතේ  දිගු කාලයක් තබා ගැනීමට සමත් වුණා. එමඟින් අවසන් ප්‍රතිඵලය වුණේ රට බංකොලොත් වීම පමණයි. ඔවුන් රටට කළ හැකි සියලු පන්නයේ විනාශයන් සිදු කළා.

ඊට ප්‍රතිපක්ෂව ඔවුන් හැදුණා, වැඩුණා.ඒ වගේම ඔවුන් ගෙවල්, පෙට්‍රල් ෂෙඩ්, බාර් ලයිසන් ගත්ත ආකාරය ගැන අද හෙළිවෙමින් තිබෙනවා. ගෙවල් ගිනි ගත්තා කියා සල්ලි ගත්ත හැටිත් ඉදිරියේ හෙළි වෙයි. තණමල්විල ජනතාව මැර බලයට බිය නොවී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට මැදිහත් වුණා. එවැනි විශාල කාර්යභාරයක් සිදු කරමින් හදාගත් ආණ්ඩුවක් තමයි අද තිබෙන්නේ. මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. වට්ටන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. අපි මේ රට ගොඩනඟලා තමයි ආපසු හැරෙන්නේ.

ඉතා කුඩා කාලය තුළ මෙතෙක් හැදුණු කිසිදු ආණ්ඩුවකටත් වඩා අපි රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. රටක් ආර්ථිකමය වශයෙන් මෙන්ම අස්ථාවර නම් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ. මේ මාස 6 ඇතුළත අපි රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර කර තිබෙනවා. දිගු කාලයක් පොලිය තනි ඉලක්කමක පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. අස්ථාවර වී තිබූ ආර්ථිකය නිසා නතර වී තිබූ විදෙස් ව්‍යාපෘති 76ක ප්‍රමාණයක් යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

රටේ බැංකු කේෂ්ත්‍රය කෙරෙහි විශ්වාසය ඇති විය යුතුයි. රට ස්ථාවර කිරීම තුළින් අද යළිත් රටට ආයෝජකයන් පැමිණෙමින් තිබෙනවා. කොළඹ නගරයේ පමණක් විශාල ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් 15ක් හඳුනාගෙන තිබෙනවා. ආයෝජකයන්ට රට කෙරෙහි විශ්වාසය ඇති කර තිබෙනවා. කොමිස් නොමැතිව ආයෝජකයන්ට සිය ව්‍යාපෘති ආරම්භ කිරීමේ පරිසරය අප විසින් ඇති කර තිබෙනවා. අඩු මිලට විදුලිය ගන්නවා හැරෙන්න කලින් ආණ්ඩු වගේ වැඩි මිලට විදුලිය මිලදී ගන්න අප කටයුතු කරන්නේ නැහැ.

අයවැය ලේඛනයකින් ඉතිහාසයේ වැඩිම මුදලක් මාර්ග, බෝක්කු, ගොඩනැඟිලි ඇතුළු ඉදිකිරීම්වලට විශාල මුදලක් වෙන් කළ පළමු අයවැය මෙයයි. අපි සල්ලි තිබුණත් වැඩ කිරීමට ප්‍රමාණවත් රාජ්‍ය නිලධාරීන් නැහැ. රාජ්‍ය කේෂ්ත්‍රයේ ඉහළ යාන්ත්‍රණය ශක්තිමත්ව තිබුණත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගැනීමට තීන්දුවක් ගත්තා. රජයේ රැකියාවක් ලබා ගැනීමට දේශපාලකයා පසුපස ගිය යුගය අවසන් කර තිබෙනවා. අපට මේ රට හදන්න නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි.

රාජ්‍ය සේවයට උපරිම වැටුප් වැඩි කිරීමට සමගාමීව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අයින් කරනවා. ලබා දෙන ලක්ෂ 10 රක්ෂණාවරණය ලක්ෂ 2 1/2   දක්වා අඩු කළා. වාහන පර්මිට් නැහැ. ඉන්ධන කෝටාව අඩකින් අඩු කර තිබෙනවා. අපි දේශපාලන නායකයන් වශයෙන් මේ රට ගොඩනැඟීමට ආදර්ශයක්  ලබාදී තිබෙනවා. කලින් මීට පෙර මන්ත්‍රීවරුන් මන්ත්‍රී වැටුපත්, විශ්‍රාම වැටුපත් අරගෙන තිබෙනවා.

අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන දීමනා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුතින් අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි වී තිබෙනවා, විශ්‍රාමිකයන්ට ලබා දෙන දීමනාව වැඩි කර තිබෙනවා. අස්වැසුම ප්‍රලාභී දීමනාව වැඩි කර තිබෙනවා. නමුත් මේ කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන ලක්ෂ 8ක පමණ පිරිසක් මේ රටේ සිටිනවා. මේ අවුරුද්දේ ඔවුන්ටත් පන්දහසක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 2500කට ලබා දෙනවා. ඒ වගේම අපේ පාසල් දැරියන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා මේ අප්‍රේල් මාසයේ සිට ලබා දීමට තීන්දුවක් අප ගත්තා. ආණ්ඩු තිබිය යුත්තේ ජනතාව බලා ගැනීමටයි. මෙහෙම ආණ්ඩු කලින් තිබුණද?

ගොවීන්ට ලබාදුන් පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කළා. ඉදිරියේදී කුඹුරුවල අතුරු බෝග වගා කරන ගොවීන්ට මේ යල කන්නයේ සිට රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට කටයුතු කරනවා. වීවලට සාධාරණ මිලක් අප ලබා දී තිබෙනවා. මේ යල කන්නයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ සෑම කුඹුරුක්ම වගා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මෙතැනින් එහාට අප රට ගෙනියන්න නම් අපේ දරුවන්ට අලුත් ආර්ථික අවශ්‍යතා සැපිරිය යුතුයි. මේ රට හදන්න නම් විදෙස් විනිමය ඉපැයීමට අවශ්‍යයි. සංචාරක කර්මාන්තයෙන්, අපනයනයෙන්, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් රටට ඩොලර් ලැබෙනවා. අපට තවදුරටත් අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය ඉපැයීමට සැලසුම් සකස් කළ යුතුයි.

පිටරටට යන ඩොලර් නතර කිරීමට නම් අපට නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම ෂ්පාදනය කළ යුතුයි. වී වගා කළ හැකි සෑම බිම් අඟලකම වී වගා කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොල් වගාව වැඩිදියුණු කිරීමට පොහොර සහනාධාර ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. රුපියල් ලක්ෂ 5000ක් උතුරේ අක්කර ගණනාවක පොල් වගා කිරීමට වෙන් කර තිබෙනවා.

සීනි ආනයනය කිරීමට විශාල වශයෙන් ඩොලර් අප වැය කරනවා. පැලවත්ත සීනි සමාගම පමණක් වැට් බදු ඇතුළු ණය පමණක් රුපියල් කෝටි 394ක් ගෙවන්න තිබෙනවා. අද වන විට පැලවත්ත සීනි   කර්මාන්තය  කඩා වට්ටවා තිබෙනවා. සීනි නිෂ්පාදන වියදම වැඩි වෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටින් 190 ට සීනි කිලෝවක් ගේන්න පුළුවන්. අපි පාරිභෝගිකයන් ගැන සිතා නිෂ්පාදනය කරනවාට වඩා සීනි ආනයනය කිරීම ලාභයි. මෙහෙම කර්මාන්ත පවත්වාගෙන යන්න පුළුවන්ද? අපිට  කඩාවැටුණු ආයතන ගොඩනඟන්න කාලයක් දෙන්න.

සේවක ප්‍රශ්නය සාධාරණව විසඳන ගමන් නැවත සීනි සමාගම ලාභ තත්ත්වයට පත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ සමාගම් නිසා අපි තවත් ණය විය යුතුද?  මේ සමාගම්වල වත්කම් අඩුයි.ණය වැඩියි. මේ සමාගම් කාර්යක්ෂම කරමින් මේ පළාතේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දෙනවා. හොරකම්, වංචා දූෂණ මේවාට හේතු වෙලා තිබෙනවා.

සංචාරක කර්මාන්තයෙන් රටට ඩොලර් ලැබෙන ප්‍රමාණය වැඩියි. 2025 වසර වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් වෙනවා. දැනටමත් මාර්තු මස 30 වන විට ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. ලක්ෂ 30ක් ඉක්මවන සංචාරකයන් පිරිසක් මේ වසර අවසන් වීමට පෙර පැමිණෙනවා. සංචාරක කලාපයක් විදිහට පැලවත්ත සංවර්ධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. කටුනායක ගුවන් තොටුපළ කාර්යක්ෂම කිරීම එහි ප්‍රමුඛතම කාර්යයක්.

| අනුර කුමාර දිසානායක
| අනුර කුමාර දිසානායක

භාණ්ඩ හා සේවා අලෙවි කිරීම තුළින් වැඩිම අපනයනය ආදායම උපයා ගන්නා වසර 2025 වසර බවට පත් වෙනවා. 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයනය ආදායමක් ඉලක්ක කරගෙන අප සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රමිකයන් වැඩිම ඩොලර් ප්‍රමාණයක් එවන වසර බවට 2025 වසර බවට පත් වෙනවා. මේවා හොඳ නැද්ද? යළි කිසි දිනෙක 2021,2022 – 2023 වසරවල ඇති වුණු තත්ත්වයට රට   තුළ ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.

මධ්‍යම ආණ්ඩුවේ සැලසුම් ගමට පැමිණිය යුතුයි. රට අත්පත් කර ගන්නා ජයග්‍රහණ ගමට ඒමට නම් ප්‍රාදේශීය සභාව අවශ්‍යයි. එකිනෙකට පෙළගැසුණු ප්‍රාදේශීය සභාව භාර දිය යුත්තේ ජාතික ජන බලවේගය තිබෙන ආණ්ඩුව පැත්තට නෙමෙයිද? ඊළඟ අයවැය අප නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් අප ජුනි මාසයේ සිට යෝජනා ලබා ගන්නවා. එහිදී ගමේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය මධ්‍යම ආණ්ඩුවට යෝජනා ලබා දිය යුතුයි. අයවැය ඉවර වෙන කල් ඡන්දය කල්දාන්න විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නමුත් මැයි මස 06 ට මැතිවරණය දිනය කල්වැඩියි. අපට තිබෙන්නේ ඡන්ද පවත්ව පවත්වා ඉන්න නෙමෙයි. ජුනි මස 02 ට පෙර ප්‍රාදේශීය සභා පිහිටුවිය යුතුයි. ජූලි අගෝස්තු වන විට සිය යෝජනා මධ්‍යම ආණ්ඩුවට ලබා දිය යුතුයි. එහිදී අවශ්‍ය වන මුදල් නොවැම්බර් මස වන විට ලබා දෙන්නම්.

මම උතුරු පළාතට ගිය අවස්ථාවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාකච්ඡාවේදී යෝජනාවක් ආවා උතුරු පළාතේ අබලන් වූ මාර්ග හදන්න සල්ලි අවශ්‍යයි කියලා. ඒ අබලන් මාර්ග හදන්න මෙවර අයවැයෙන් අප ලක්ෂ 5000ක් වෙන් කළා. දැන් ඔවුන්ට තිබෙන අභියෝගය තමයි මේ දෙසැම්බර් මස වන විට මේ ලක්ෂ 5000 වියදම් කරලා පාරවල් හදන්න එක.එයට ප්රාුෙද්ශීය සභාවේ, නගර සභාවේ සහාය අවශ්‍යයි. අනුරාධපුරයට ගියාම රාජාංගණය වැව, නාච්චදූව වැව, හුරුළු වැව ඇතුළු වාරිමාර්ග පද්ධති නවීකරණය කිරීමට සල්ලි අවශ්‍යයි කිව්වා. ඒවා අලුත්වැඩියා කිරීමටත් අය වැයෙන් ලක්ෂ 3000ක් වෙන් කළා. නමුත් පසුව එහෙන් කතා කරලා ලක්ෂ 3000 වැඩියි, ලක්ෂ 2000ක් ඇතියි කියා මහා භාණ්ඩාගාරයට කියා තිබෙනවා. මම සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවලා දිස්ත්‍රික්කවලට වෙන් කර තිබෙන සල්ලි ප්‍රමාණය කිව්වා. සියලුම දිස්ත්‍රික්කවල වැඩ කටයුතු මේ දෙසැම්බර් මස අවසන් වීමට පෙර අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. ඒ වගේම අමාත්‍යාංශවල ලේකම්වරුන් ද කැඳවා ඒ වැඩ කටයුතු ද දෙසැම්බර් මස 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බවටත් දැනුම් දුන්නා.

දැන්, සල්ලි තියෙනවා, වැඩ ඉවර කරන්න ඕන. ඒකට ගමේ ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. මීට පෙර ලක්ෂ 10ක් යන පාරකට ලක්ෂ 20ක් දාන්න ඕන. දැන් ලක්ෂ 10ක් දුන්නොත් ඇති. ඉස්සර වගේ දෙගුණයක් වැඩ කරන්න පුළුවන් එදා සල්ලිවලට. හැබැයි මේ සැරේ සල්ලිත් වැඩි වෙලා තිබෙන නිසා වැඩ කටයුතු හොඳට කරන්න පුළුවන්. අපට බය නැතුව සල්ලි වෙන් කරන්න පුළුවන් හොඳ ප්‍රාදේශීය යාන්ත්‍රණයක් අවශ්‍යයි. වෙන කවුරු හරි ප්‍රාදේශීය සභාවක බලය අරගෙන යෝජනා එව්වොත්  අපට එකින් එක බලන්න වෙනවා. එහෙම වුණොත් මුදල් වෙන් කරන්න බැහැ. අපට විශ්වාස කණ්ඩායමක් පත් කරලා එවන්න. මීට පෙර පාලකයන් සිදු  කර තිබෙන වැඩ හැටියට වෙන කණ්ඩායම් ගැන අපට විශ්වාසයක් නැහැ.

වසර 76කට පසුව මහජනතාවගේ මුදල් හොරකම් නොකරන ආණ්ඩුවක් අද නිර්මාණය කර තිබෙනවා. ඉස්සර රස්සාවක් ගන්නම් දේශපාලනඥයන්ට කීයක් හරි දෙන්න ඕන. පාරක් හදන කොටත් ඇමැතිගේ ගෙදරටත් කීයක් හරි යනවා. අපට තොරතුරු ලැබෙමින් තිබෙනවා රාජ්‍ය නිලධාරීන් ද වංචා දූෂණවලට නිරත වන බවට. එහෙම වුණොත් වෙන්නෙ බොහොම අමාරුවෙන් හොයා ගත්ත රස්සාව ඉතා කෙටි දවසකින් අහිමි වීම පමණයි. අපි රට හැදිය යුත්තේ එහෙම නෙවෙයිද? පොලිස් දෙපාර්තමේන්තුවේ, රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මේ වන විට දූෂණ වංචා හේතුවෙන් ගෙදර යවා තිබෙනවා. දේශපාලන අධිකාරිය හොරකම් කර කර, රාජ්‍ය නිලධාරීන්ට හොරකම් කරන්න එපා කියන්න බැහැ. අපි ඒ යාන්ත්‍රණය නිවැරදි ලෙස සකස් කර තිබෙනවා. යළිත් දූෂිතයන්ට කිසි දිනෙක ආණ්ඩු හදන්න ඉඩ දෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුවේ හොරකම් අවසන් කර තිබෙනවා. මීට පෙර වැඩියෙන්ම ගසාකෑ ගමේ ප්‍රාදේශීය සභාවත් අපට පිරිසිදු කරලා දෙන්න.

ඇයි වංචනිකයන්ට, දූෂිතයන්ට නඩු පවරන්නේ නැහැ කියන ප්‍රශ්නය තවමත් අහනවා. වංචනිකයන්ට දූෂිතයන්ට දඩුවම් දීමේ බලය ආණ්ඩුවට නැහැ. පරීක්ෂණ පවත්වලා, නඩු ගොනු කිරීමෙන් දඩුවම් ලබාදීම අධිකරණයෙන් සිදුවිය යුතුයි. අපි ඒ සඳහා සම්පූර්ණ ස්වාධීන බලය අදාළ ආයතනවලට ලබාදී තිබෙනවා. එවැනි වංචනිකයන් සහ දූෂිතයන්ට එරෙහිව නඩු ගොඩක් අද වන විට පවරා තිබෙනවා. හිටපු පාලකයන්ට අයත් සෙවනගල, කතරගම නිවාසවලටත් ඉදිරියේදී නඩු ගොනු වෙයි. පාස්කු ප්‍රහාරයේ, ක්‍රිෂ් ගනුදෙනු පරීක්ෂණ ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් හිටපු ඇමැතිවරුන් තිදෙනෙක් රිමාන්ඩ්. එක් කෙනෙක් හැංගිලා. බලමු කොතරම් කාලයක් හැංගිලා ඉන්නවද කියලා. හිටපු පොලිස්පතිවරයාත් රිමාන්ඩ්. රට, බලය, තනතුරු, ධනය, ගැන නොසිතා කටයුතු කළ අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වන රටක් අද නිර්මාණය කර තිබෙනවා.

Leave A Comment