රාජ්‍ය – පෞද්ගලික – සමුපකාර අංශ සහයෝගයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – පා.ම. ආචාර්ය කෞශල්‍යා ආරියරත්න
- 5opn1
- November 29, 2024
- දේශපාලන
- රාජ්‍ය – පෞද්ගලික – සමුපකාර අංශ සහයෝගයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – පා.ම. ආචාර්ය කෞශල්‍යා ආරියරත්න
- 0 Comments
රටේ බංකොලොත්ව ඇති ආර්ථිකය ගොඩගන්නා අතරතුර ආර්ථික සංවර්ධනයක් වෙත රට ගෙන යෑමේ අභියෝගයට වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
එබැවින් පසුගිය රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවී ඇති ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට නොහැකි වී ඇතැයි ද ඇය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මිය මේ බව සඳහන් කළේ පොදු සම්මුතියකින් අභියෝග ජය ගනිමු, සමෘද්ධිමත් ලෝකයක් ගොඩනඟමු තේමාව යටතේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සංවිධානය කළ විද්වත් කතිකාවත හමුවේ අදහස් දක්වමිනි.
මෙම කතිකාවත ඊයේ (28දා) පෙරවරුවේ කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
මේ සඳහා ආර්ථික විද්‍යා මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරු ද සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟිය යුතු බවත් ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික, සමුපකාර සේවා යන සියලු අංශයේ සහයෝගය ලබාගතයුතු බවත්ය. එසේම කෘෂි කර්මාන්තය මූලික කරගෙන ක්‍රියාත්මක කළ යුතු අතර පොදු ජනතාව ඊට එක් කර ගතයුතු බවත් පැවසුවාය.
මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා අදහස් දක්වමින් පැවසුවේ ලෝක ආර්ථිකයේ බලවතා බවට පත්ව සිටින චීනය රටවල් සමග සබඳතා පවත්වනුයේ දේශපාලන පක්ෂ මූලික කරගෙන නොව, ඔවුනගේ ආර්ථික ප්‍රතිපත්ති අනුව යැයි කීවේය. ඒනිසා වත්මන් රජය සමග චීනය සබඳතා පැවැත්වීම සම්බන්ධව කිසිදු ගැටලුවක් නැතැයි ද සඳහන් කළේය.
උපාලි ද සේරම්